දඹුලු විහාරය වැහුනේ එක්සත් ජාතීන්ගේ නිර්දේශ නොතැකූ නිසායි

එක්සත් ජාතීන් විසින් දෙන ලද නිර්දේශ දිගින් දිගටම නොසලකා හැරීම නිසා විසිපස් වසරක් තිස්සේ පවත්වාගෙන ගිය  ලෝක උරුම ගෞරවය නැතිවීමේ අනතුරින් වලක්වාලීමේ පියවර ගැනීම පිණිස ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරය වසා තැබීම සඳහා රජය මැදිහත් වී ඇත.

රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය පුරා වස්තුවක් ලෙසින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංරක්ෂණය කරන්නේද, නැතහොත් හුදෙක් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පමණක් පවත්වාගෙන යන්නේද යන්න අනුව එහි අනාගතය තීරණය වනු ඇති බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.

දැඩි ලෙස විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබීමට තීරණය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි ඇති පුරාවිද්‍යාත්මක අගය සලකා හිමිකර දී තිබු ලෝක උරුම තත්වය නැතිවීමේ අවදානමින් ගලවා ගැනීමට බව අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.

ඔවුන් දෙපල ඒ බව හෙළි කර ඇත්තේ වර්තමාන සමාජ හා ආගමික ගැටලූ පිළිබඳව තරුණ භික්‍ෂූන් වහන්සේ සමග විශේෂ සාකච්ඡාවක් 12 බදාදා  අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදීය.

එමෙන්ම පසුගිය කාලය පුරා දැඩි ගැටලූවලට මුහුණ දී ඇති මේ පුරා විද්‍යාත්මක අඩවියේ සංරක්‍ෂණ කටයුතු විධිමත් කරන්නැයි දඹුලු  විහාරයේ ස්වාමීන් වහන්සේලාම තමන්ගෙන්  ලිඛිතව ඉල්ලීම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.

වැඩවසම් පරිපාලනය සහ රජය

ලෝක උරුමයක් ලෙස 1991 දී ප්‍රකාශයට පත් කෙරුනු ලෙන් පහකින් සමන්විත රන්ගිරි දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් විහාර පරිපාලනය ප්‍රමාණවත් ලෙස පියවර නොගන්නා බව පෙන්වා දෙමින් ඒ සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දශක දෙකකට ආසන කාලයකට ඉහතදී පටන් පෙන්වා දී තිබුනි.

මහාචාර්ය ඉෂිකෝ නිෂිමුරා සහ වාස්තු විද්‍යාඥ පාලි විජේරත්නගේ ප්‍රධානත්වයෙන්  පුරාවිද්‍යා ස්මාරක සහ අඩවි පිලිබඳ ජාත්‍යන්තර මණ්ඩලය (ICOMOS) 1998 දෙසැම්බරයේ කරන ලද සතියක නිරීක්ෂණ චාරිකාවකින් පසු නිකුත් කළ පිටු 45 ක වාර්තාවෙන් නිර්දේශ කොට තිබුනේ විහාර අඩවිය සංරක්ෂණය සහ නඩත්තුව සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික හවුල් කරගත යුතු බවයි.

එතැන් පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දිගින් දිගටම පවසා ඇත්තේ දඹුලු විහාර පුරාවස්තුව රැකබලා ගෙන ලෝක උරුම තත්වය දිගටම පවත්වාගෙන යාමට සඳහා අවශ්‍ය රජයේ මැදිහත් වීමද සහිත කළමනාකරණය නොලැබී ගිය බවයි.

එක්සත් ජාතීන්ගේ  යෝජනා අනුව 2010 දී ලබා දුන් කළමනාකරණ සැලසුම ක්‍රියාත්මක නොකිරීමද දඹුලු විහාරය අවදානමේ හෙලීමට හේතුවී තිබේ.

මහාචාර්ය හේ උන් රී විසින් ICOMOS වෙනුවෙන් 2015 ශ්‍රී ලංකාවේ සිදුකළ සමීක්ෂණයකින් පෙන්වා දී ඇත්තේ තවමත්  පවත්වාගෙන යනු ලබන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත නීති පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන  වැඩවසම් පරිපාලන ක්‍රමයක් බවයි.

එසේ හෙයින් රජයට වහාම මැදිහත් වී ආණ්ඩුවේත්, විහාර අධිකාරියේත්, විශේෂඥයන්ගේ සහ ගම්වාසීන්ගේත් දායකත්වයෙන් යුත් කළමනාකරණ කමිටුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ ලෝක උරුම කමිටුව පසුගිය වසරේත් දැඩි ලෙස නිර්දේශ කර තිබුනි.

“පැහැදිලි පරිපාලන ව්‍යුහ නොමැති කම, පැහැදිලි වගකීම් රටාවක් නැති වීම  සහ විශේෂයෙන්ම කළමනාකරණ සැලැස්ම ක්‍රියාවේ නොයෙදැවීම,” තමන්ගේ බලවත් අවධානයට යොමු වූ බව දඹුල්ල පිළිබඳ 2016 ලෝක උරුම කමිටු යෝජනාවේ සඳහන් වෙයි.

දඹුල්ල ලෙන් විහාරයට වී ඇති හානිය දැක්වෙන ICOMOS 2015 වාර්තාවෙන්

මාසයකට කෝටි විස්සක්

යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා ද වන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන පරිදි දඹුල්ල ලෙන් විහාරයේ විදේශිකයන් සඳහා ප්‍රවේශ පත්‍ර  මුද්‍රණය කිරීමේ අයිතිය පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි.

සංචාරකයන් තුන් හාරදහසක් පැමිණෙන  දඹුලු විහාරයෙන් මාසයකට රුපියල් කෝටි 20ක, 30ක පමණ ආදායමක් ලබයි.

එක්සත් ජාතීන් ගේ නිර්දේශ  ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර ඇතුලත් සවිස්තර වාර්තාවක් ලබන වසරේ මුළුදෙන ලෝක උරුම කමිටුවේ 42 වැනි සැසිවාරයේ සාකච්ඡාවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් 2017 දෙසැම්බර් 1 දාට පෙර වෙත ලබා දිය යුතුය.

එසේ නොකළොත් රන්ගිරි දඹුලු විහාරයට ලබන අවුරුද්දේ සිට ලෝක උරුම ගෞරවය අහිමි වනු ඇත.

එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීමෙන් පසු රජය පුරාවිද්‍යා උපදේශක සභාව 10 සඳුදා රැස් කර තිබේ.

එහිදී  දඹුල්ල ලෙන් විහාරය අවදානම් තත්ත්වයක තිබෙන බවත්, එය සංරක්‍ෂණය කළ යුතු බවත් එම උපදේශක සභාව තීරණය කළ බව අමාත්‍ය අකිල විරාජ් අරලියගහ මන්දිරයට රැස්වූ භික්ෂුන් වහන්සේට දැනුම්  දී ඇත.

“මෙම ලෙන් විහාරයට පැමිණෙන සෙනග පාලනය කිරීම ඇතුලූ කොන්දේසි රැසක් ඊට ඇතුළත් වෙනවා. 2017 දෙසැම්බර් 01 වැනිදාට පෙර ලබා දී ඇති කොන්දේසි ඉටු කර වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකළහොත් 2018 වසරේ දී දඹුල්ල ලෝක උරුමයෙන් ඉවත් වීමේ අවදානමක් තිබෙනවා,” යි ඔහු අනතුරු අඟවා තිබේ.

තීරණය විහාරය සතුයි

දඹුල්ල ලෙන් විහාරය  අස්ගිරි පාර්ශ්වයට අයත් දේපලක්  බැවින් ඒ පිළිබදව බුද්ධ ශාසන ඇමැතිවරයා මෙන්ම අස්ගිරි මහනාහිමියන් ද දැනුවත් කළ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් පවසයි.

සාකච්ඡාවේදී  අගමැතිවරයා පවසා ඇත්තේ වෙහෙර විහාර පාලනයට මැදිහත්වීමට  කිසිදු වුවමනාමක් නැති නමුත්  පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම ගිහි හෝ පැවිදි වේවා අදාල අමාත්‍යවරයා සතු බවයි.

දඹුලු විහාරයේ පුජා විධි පවත්වන ආකාරයද එහි පුරාවිද්‍යාත්මක අගයට හානි පමුණුවන සාධකයක් ලෙසින් යුනෙස්කෝව විසින් දක්වා තිබේ.

බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසින් පමණක්  දඹුලු විහාරය පවත්වාගෙන යාමෙන් ලෝක උරුම ගෞරවය අහිමි කරගැනීමේ වගකීම භාරගත යුත්තේ විහාර පරිපාලනය විසින්ම බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

“ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත්වනවාද නැද්ද යන්න විහාරස්ථානය තීරණය කළ යුතුයි,” යනුවෙන් අගමැති වරයා භික්ෂුන් වහන්සේට පවසා තිබේ.

“අමාත්‍යවරයා එය තීරණය කරන්නේ නැහැ.  ලෝක උරුම කාණ්ඩයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් අස්ගිරි මහනායක හිමියන් හමුවී එය දැනුම් දෙන්න. පසුව අප එය යුනෙස්කෝ සංවිධානයට දැනුම් දීමට කටයුතු සූදානම් කරන්නම්. අපට එහි කිසිදු ගැටළුවක් නැහැ.”

“නමුත් ලෝක උරුම කාණ්ඩය තුල තව දුරටත් අප සිටිනවා නම් පැරිසියේ යුනෙස්කෝ සංවිධානය සහ මහනායක ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡාවක් සිදුකර මේ සදහා පොදු ක්‍රියාමාර්ගයක් ගතයුතු වෙනවා,” යැයි අගමැතිවරයා පවසා ඇත.

ලෝක උරුමය රැකීමට තරුණ භික්ෂුන්

සාකච්ඡාව සදහා සහභාගි වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා පවසා ඇත්තේ දඹුල්ල විහාරස්ථානය යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම තත්වයෙන් ඉවත් කිරීමේ  අවදානමක් වේ නම්, ඒ වලක්වා ගැනීම වෙනුවෙන්  මැදිහත් විය යුතු බවයි.

පුරාවිද්‍යා උපදේශක සභාව 10 සඳුදා රැස්වු අවස්ථාවේදී තීරණය කර ඇත්තේ ලෙන් විහාර සංකීර්ණයේ ඇති ලෙන් පහෙන් ප්‍රමුඛ තාව අනුව එක් එක් ලෙන බැගින් ක්‍රමානුකුල ලෙස සංරක්ෂණය කිරීමයි.

රංගිරි දඹුලු ලෙන් විහාරය සම්බන්ධයෙන් ICOMOS (පුරාවිද්‍යා ස්මාරක සහ ස්ථාන සම්බන්ධ අන්තර්ජාතික කවුන්සිලය) සහ යුනෙස්කෝ සංවිධානය ලබාදී ඇති නිර්දේශ, පුරා  විද්‍යා චිත්‍ර පිළිබඳව ප්‍රකට ජාත්‍යන්තර සංරක්ෂණ විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නර් ස්මිතගේ වාර්තාද, මෙරට පුරාවිද්‍යා වියතුන්ගේ වාර්තා සහ අදහස් ද  එහිදී දීර්ඝ වශයෙන් අවධානයට ලක්වු බව රජය පවසයි.

මුලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා තැබිය යුතු බවටත් අදාළ උපදේශක මණ්ඩලය එදින ඒකමතිකව තීරණය කර තිබුණි.

ගාලු කොටුවත් අනතුරේ

ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ගාල්ල කොටුව සම්බන්ධයෙන්ද දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් එයද තත්වයෙන් පහත වැටීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන් විසින් අනතුරු අඟවා තිබේ.

කොටුව පරිපාලනය කිරීමේ අධිකාරිය වන ගාලු උරුමය පදනම දුර්වල බව යුනෙස්කෝ සංවිධානය චෝදා කරයි.

වරාය පුළුල් කිරීමත්, ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නීති විරෝධී ඉදිකිරීම් ද ගාලු කොටුවට ලෝක උරුම ගෞරවය අහිමි කිරීමට බලපාන සාධක ලෙස යුනෙස්කෝව විසින් හඳුනාගෙන තිබේ.

Related posts

Comments are closed.

Top