ශ්‍රී ලංකාවේ අදත් වධහිංසා කරන බව එක්සත් ජාතීන් තහවුරු කරයි | VIDEO

දෙමළ වැසියන් සහ මානව හිමිකම් සංවිධාන විසින් දිගින් දිගටම පැමිණිලි කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ වර්තමාන පාලනය යටතේත් ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් අත් අඩංගුවේ දී වධ හිංසා පමුණුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කර තිබේ.

ඒ සමගම මේ වසරේත්, පසුගිය වසරේත් වධහිංසාවට සහ ලිංගික ප්‍රචණ්ඩතාවට ගොදුරුවූ පනහකට අධික පිරිසකට දෙන ලද වධබන්ධන විස්තර කෙරෙන වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක් හමාරයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මහත් සේ දෝෂ දර්ශනයට ලක් කරමින් නිවේදනයක් නිකුත් කරන මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුගේ නිගමනය වී ඇත්තේ වධහිංසාව “ආවේනික සහ දෛනික චර්යාවක්” ලෙසින් මෛත්‍රී-රනිල් පාලනය යටතේත් දිගටම පවත්වාගෙන යන බවයි.

“ජාතික ආරක්ෂාවේ නාමයෙන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගන්නවුන් ට එරෙහිව වධහිංසා කිරීම එදා මෙන්ම අදත්, ආවේනික සහ දෛනික චර්යාවක් ලෙසින් පවතින බව නිගමනය කිරීමට අවශ්‍ය සියලුම සාක්ෂි තිබේ,” යි විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් අවධාරණය කරයි.

ආණ්ඩුවේ ‘නොඉවසන’ පිළිවෙත

මේ අපරාධ සිදුවන්නේ වධහිංසාව “කිසිසේත් නොඉවසන” ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යොදවා ඇතැයි පවසන රජය පොලිසියෙන් සිදුවන වධහිංසා තුරන් කිරීම සඳහා 2016 ජූලි මාසයේ කමිටුවකුත් පත් කර තිබියදී බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

සුදු වෑන් පැහැරගැනීම් හා වධබන්ධන පිළිබඳව වසර කිහිපයක් තිස්සේ තම සංවිධානය හෙළි කළ තොරතුරු එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කළ විමර්ශනයෙන් සනාථ වන බව “නොනවතින දෙතිස් වධ” නමින් වූ ශ්‍රී ලංකාව සම්බන්ධ සිය නවතම වාර්තාව ලන්ඩනයේදී එලි දක්වමින්  සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.

2016/17 අවුරුදු වලදී වධහිංසාවට ලක්වී  රටින් පලා ගිය 57 දෙනකු ලබාදුන් බියජනක තොරතුරු එහි ඇතුලත් වෙයි.

වධහිංසාවට ලක්වූවන් තමන් විඳි ගැහැට විස්තර කරන වීඩියෝ පටයක්ද වාර්තාව එලි දැක්වීමට සමගාමීව ITJP විසින් පළකර තිබේ.

දෙමළ බහුතරයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ITJP ද පවසන්නේ වධබන්ධනයට ලක්වන සාතිශය බහුතරය දෙමළ බවයි.

හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ දරුවන් ද දැන් ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ විසින් පැහැරගෙන යනු ලබන බව යැස්මින් සූකා චෝදනා කළාය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලබන දෙමළ පුද්ගලයන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම සඳහා වධහිංසා කරන බව හෙළි කොටගෙන තිබෙන බෙන් එමර්සන් පවසන්නේ එල්ටීටීඊ සංවිධානය සමඟ කුමන ආකාරයක හෝ වක්‍ර සබඳතාවයක් වුව පවත්වන බවට සැක කරන ඕනෑම අයකු රඳවා ගැනීමේ හා වදහිංසාවට ගොදුරු වීමේ  දැඩි අවදානමකට ලක් වන බවයි.

“දෙමළ ජනතාවට එරෙහිව පමණ ඉක්මවා මෙම පනත බලධාරීන් විසින් යොදා ගන්නා හෙයින් ආණ්ඩුව මනාසේ නඩත්තු කොට පවත්වාගෙන යන වධබන්ධන යාන්ත්‍රණයේ පීඩාවට ගොදුරු වී ඇත්තේ එම ප්‍රජාවයි,” යනුවෙන් ඔහු පවසයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වධහිංසා පැමිණවීම “මහා පරිමාණයෙන්” සිදුකෙරෙන බව කොළඹදී මාධ්‍යවේදීන්ට පැවසූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මෙය “නරකම ඒවායින් එකක්” ලෙස හැඳින්වීය.

‘අපතයන්’ කීප දෙනකු පමණක් නොවේ

වධහිංසාව මහත් ලාබදායී ව්‍යාපාරයක් ලෙස හඳුන්වන ITJP, එය රජය පවසන පරිදි හුදෙක් ආරක්ෂක අංශවල ‘අපතයන්’ කිහිප දෙනකුගේ නොමනා කටයුත්තක් නොවන බව පෙන්වා දෙයි.

ඔවුන් පවසන පරිදි මනා ලෙස සංවිධිත හිංසක හා ලිංගික ප්‍රචණ්ඩතා යාන්ත්‍රණය අඩුම වශයෙන් වෙනම ක්‍රියාත්මක වන අංශ තුනකින් සමන්විතය.

ඒ පැහැරගෙන යාම, ප්‍රශ්න කිරීම සහ කප්පම් ගෙන මුදා හැරීම සඳහාය.

නිදහස් කර යවනු ලබන්නන් රටින් පිට කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන්ද හවුල් වී සිටින බවට ITJP චෝදනා කරයි.

“අතීතයේ දී ආයතනගත අපරාධ සිදුකළ’වුන්ට මේ ආණ්ඩුව විසින් උසස් වීම් ලබා දී වරදාන ප්‍රදානය කිරීම මගින් අපරාධ කරුවන් වගකීමෙන් නොබැඳෙන බව නැවත වතාවක් සහතික කර දීම නිසා ශ්‍රී ලංකාවේ සුදු වෑන් පැහැරගැනීම් දිගටම සිදුවීම පුදුමයට කරුණක් නොවන්නේ ය,” යි යැස්මින් සූකා පවසයි. “මීට  අමතරව, දෙමළ ජනයාට වධහිංසා කිරීම ඉතාම ලාභදායී ජාවාරමක් වී තිබේ.”

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඇතුළු මානව හිමිකම් රැකීම සහ සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට තවත් අවුරුදු දෙකක් කල් ලබා දුන්නත් එහි ප්‍රගතිය ඇනහිට ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව නගන තවත් චෝදනාවකි.

“යුද අපරාධ කළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සාමාජිකයන් නීතිය හමුවට ගෙන එනු ලබන බව දැනගන්නට කිසිදු සාක්ෂියක් නැතැ,” යි විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් පවසයි.

එයාට අණ දෙන්න බෑ

කෙසේවෙතත්, යුද්ධයේදී දෙපාර්ශවය විසින්ම කරන ලද අපරාධ විභාග කිරීමට විශේෂ අභිචෝදක කාර්යාලයක් අනාගතයේදී පිහිටුවනු ලබන බවට අගමැති රනිල් වික්‍රමසිංහ  තමන්ට පුද්ගලික වශයෙන් පොරොන්දු වූයේ යැයි බෙන් එමර්සන් කියා තිබේ.

එය මේ වනවිට සිදුකර නිමා කර තිබිය යුතුවූ කටයුත්තක් බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රජයට සිහිපත් කර දෙයි.

අගමැති පොරොන්දුව පසෙක තිබියදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම අධිකරණ අමාත්‍යවරයා විසින් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කර තිබුනේ මහින්ද රාජපක්ෂ පාලනය මානව හිමිකම් සම්බන්ධයෙන් කෙරුනු ජාත්‍යන්තර ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වූ ආකාරය සිහි ගන්වමිනි.

“එයාට බෑ මේ විදියට අණ දෙන්න, අපිට එහෙම වහාම නීති හදන්න බෑ,,” යි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ රොයිටර් පුවත් සේවයට පවසා තිබුනි. “ඒවා පාර්ලිමේන්තුව හරහා යන්න ඕනේ… ඒකෙ ක්‍රියාදාමයක් තියෙනවා. එයා තේරුම්ගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා.”

පවත්නා නීති ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ප්‍රතිසංස්කරණය කොට, අපරාධකාරී ආරක්ෂක අංශ සාමාජිකයන් නීතිය හමුවට ගෙනැවිත් පොලිසිය හා හමුදාව දිගටම සිදුකරන මානව හිමිකම් උල්ලංඝන නැවැත්වීම සඳහා රජය දී ඇති පොරොන්දු ඉටු නොකළොත්, එමගින් “දුක්ගැනවිලි වැඩිවීමටත්, අසහනය බෝවීමටත්, යුද්ධය නැවත ඇවිලීමටත්,” සුදුසු පරිසරයක් නිර්මාණය වීමේ අවදානම ගැන මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අනතුරු අඟවා සිටියේය.

Related posts

Comments are closed.

Top