හිදැස: ඩෙංගු, මහනාහිමි නිවේදනය සහ අලුත් ව්‍යවස්ථාව

ඩෙංගු උවදුර පැතිරයාම පිළිබඳ සිංහල සහ දමිළ පුවත්පත් වාර්තාකරණයන් අතර පැහැදිලිව පෙනෙනා ප්‍රමාණාත්මක හිදැස් දක්නට ලැබිණි. උතුර සහ නැගෙනහිර බොහෝ කොට ඩෙංගු උණ වසංගතයේ දරුණුතම තත්වයෙන් බේරුණු බැවින්, දමිළ පුවත්පත් තුළ මේ සම්බන්ධයෙන් වූ ආවරණය ප්‍රධාන සංඛ්‍යාලේඛන වාර්තා කරනා ප්‍රවෘත්ති නිවේදනයන්ට සහ හදිසි තොරතුරු වලට පමණක් සීමා වී තිබිණි.

මෙයට සමාන ලෙසින්ම පළාත් සභා මැතිවරණයන් නොපැවැත්වීම සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළින් රජයට දැඩි විවේචන එල්ල වූවත්, දමිළ පුවත්පත් තුළ මේ සම්බන්ධයෙන් දක්නට ලැබුණේ ඉතාම අවම අවධානයකි. පසුගිය සතියේ ශ්‍රී ලංකාව බොටම් ට්‍රෝලින් පන්න ක්‍රමයට මසුන් මැරීම තහනම් කළ නමුත්, මෙම පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද ලැබී තිබුණේ සීමිත ආවරණයකි.

මහනාහිමි නිවේදනය: වෙනස් ප්‍රතිචාර

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට රටේ ප්‍රධාන බෞද්ධ නිකාය ත්‍රිත්වයේ මහානායක හිමිවරුන් විසින් පසුගියදා නිවේදනය කරන්නට යෙදිණි. මෙම නිවේදනයට පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් නායක භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සම්මුඛ වූ අතර, ඔහු එහිදී සහතික කොට සිටියේ නව ව්‍යවස්ථාවක් ක්‍රමවත්ව නිර්මාණය කරන්නේ නම් මහා සංඝරත්නය ඒ පිළිබඳව දැනුවත් කරනා බවයි. මෙම සිදුවීම් ද්විත්වය සහ ඒවායේ දේශපාලන ප්‍රතිපල මෙම සතියේ ද්විභාෂා පුවත්පත් වාර්තා තුළ ප්‍රධාන තැන් ගෙන තිබිණි.

මේ සම්බන්ධ දමිළ පුවත්පත් අර්ථකතනයන්, සිංහල පුවත්පත් වෙතින් දෙයාකාරයකට වෙනස් විණි.

පළමුව, රටේ මහා සංඝ රත්නය සතුව ඇති දේශපාලන බලය පිළිගන්නා අතරම දමිළ පුවත්පත් මගින් ප්‍රශ්න කොට සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බාධා කිරීමට සංඝ රත්නයට ඇති අධිකාරී බලය පිළිබඳවයි. දමිළ පුවත්පත් වලට අනුව, මහනායක හිමිවරුන්ගේ මෙම හැසිරීම සහ එයට රටේ ජනපතිගේ යටහත් පහත් ප්‍රතිචාරය යනු රටේ පරමාධිපත්‍යය සැබවින්ම ‍රැඳී ඇත්තේ කොතැනකදැයි ඉඟි කරනා පැහැදිලි සලකුණකි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල පුවත්පත් හි මේ සම්බන්ධයෙන් වූ සංවාදයන් තුළ මෙම ගැටළුව මතු කරන්නට නොයෙදිණි.

දෙවෙනුව, මහා සංඝයා වහන්සේගේ මෙම විරෝධතාවය පැන නැඟුණු මොහොත සහ “රජය මහා සංඝරත්නයේ ස්ථාවරය බැරෑරුම්ව සලකා බැලිය යුතු බවට” මහින්ද රාජපක්ෂ විසින් කළ ප්‍රකාශය මතුකොට දක්වමින් බොහෝ දමිළ දේශපාලන ලියුම්කරුවන් දැරූ අදහස වූයේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහින්ද රාජපක්ෂගේ වරලත් නියෝජිතයන් ලෙසින් හැසිරෙන බවයි. සිංහල පුවත්පත් තුළ රාජපක්ෂ හා සංඝ රත්නයේ සබැඳියාවක් පිළිබඳව සැක සංකාවන් සවිස්තරාත්මකව දැක්වී තිබුණේ ලංකා පුවත්පතේ වූ ලිපියකින් පමණි.

කෙසේ වුවත්, මෙසේ එකිනෙකින් වෙනස් වූ මතාන්තර තුළ, ව්‍යවස්ථා නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට සහ වත්මන් රජයට මහා සංඝයා වහන්සේලාගේ ස්ථාවරය මගින් එල්ල වූ අභියෝගයේ පරිමාණය වෙනස් වී නොදැක්වුණි. දමිළ මෙන්ම සිංහල පුවත්පත් තුළද ප්‍රකාශිත මත හරහා මෙම විරෝධතාවය සංසන්දනය කෙරී තිබුණේ, ජේ.ආර්.ජයවර්ධන විසින් 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී සහ චන්ද්‍රිකා කුමාරතුංග රජය මගින් ව්‍යවස්ථා කෙ‍ටුම්පතක් හරහා 2000 වසරේදී වැඩි බලය විමධ්‍යගත කිරීමක් සඳහා බල කෙරුණු අවස්ථාවේදී බෞද්ධ ශාසනයෙන් එල්ල වූ විරෝධයටයි.

ෆෙඩරල්ද නැත්නම් ඒකීයද?

යෝජිත ව්‍යවස්ථාව ෆෙඩරල්ද නැතිනම් ඒකීයද යන්න සිංහල මෙන්ම දමිළ පුවත්පත් මගින්ද විවාදයට බඳුන් කොටගත් ප්‍රශ්නයක් විණි. දමිළ පුවත්පත් මගින් මෙය ෆෙඩරල් වේශයක සැඟවූ ඒකීය ව්‍යවස්ථාවක්ලෙසින් චිත්‍රණය කරන්නට යෙදුණු අතර, සිංහල පුවත්පත් මගින් ප්‍රකාශ වූයේ එහිම විරුද්ධ අදහසයි.

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල් - 2017 ජූලි 09 | නව ව්‍යවස්ථාවට විරෝධය

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල් – 2017 ජූලි 09 | නව ව්‍යවස්ථාවට විරෝධය

ඔවුන්ගේ ස්ථාවර සාධාරණීකරණය කරනු වස්, දමිළ සහ සිංහල වාර්තාකරණය මගින් භාෂා දෙකේම දේශපාලකයන්ගේ ප්‍රකාශයන් උපුටා දක්වා තිබිණි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, දිවයින කතුවැකිය මගින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් උපුටා දක්වමින් තර්ක කොට සිටියේ නව ව්‍යවස්ථාවේ ‘හරය ෆෙඩරල්’ වනු ඇති බවටයි. අනෙක් අතට වීරකේසරී පුවත්පත මගින් ඩිලාන් පෙරේරා සම්පූර්ණ පි‍ටුවක් පුරා සම්මුඛ සාකච්ඡාවකට ලක් කරමින් ස්ථිරවම කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩම් සහ පොලිස් බලතලද සහිතව 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට පක්ෂ බවයි. රජයේ අනෙකුත් බලපෑම් කළ හැකි මට්ටමේ අමාත්‍යවරුන්ද දමිළ පුවත්පත් තුළ පෙනී සිටිමින් සහතික කොට සිටියේ, රාජ්‍යයේ ඒකීය භාවය ආරක්ෂා වනු ඇති බවටයි.

සිංහල සහ දමිළ පුවත්පත් වාර්තාකරණ තුළ වූ මෙම විසංවාද මගින් පෙන්නුම් කෙරුණේ, ව්‍යවස්ථා සංශෝධන විෂයෙහි අභ්‍යන්තර එකඟතාවයේ මෙන්ම පොදු සන්නිවේදනයේදීද රජය දැක්වූ අසාර්ථක බවයි. සිංහල පුවත්පත් තුළ ව්‍යවස්ථා සංශෝධනයන්ට වූ විරුද්ධත්වය ක්‍රමයෙන් ප්‍රබල වූ බව දක්නට ලැබුණු අතර, දමිළ පුවත්පත් මගින් ආරම්භයේදී දක්වා සිටි සුබවාදී ආස්ථානය සහ සහාය මේ වනවිට ක්‍රමයෙන් හායනය වී ගොස් ඇති බවද දක්නට ලැබිණි.

සමස්තයක් ලෙසින් ගත් විට, මේ සම්බන්ධව පොදු එකඟතාවයකට පැමිණීම යතාර්ථයක් බවට පත් කිරීමට හැකි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය යන ප්‍රධාන පක්ෂ ත්‍රිත්වය තුළ අන්‍යොන්‍ය සම්මුතියක් නිර්මාණය වීම වඩ වඩාත් අසීරු කාරණයක් වන බව නිරීක්ෂණය විණි.

ඒ, සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන් වූ මතිමතාන්තරයන් සහයෝගය ලබාදීමේ ස්ථාවරයකින් වඩ වඩාත් දුරස් වීමත් සමගින්, ව්‍යවස්ථා සංශෝධන න්‍යාය පත්‍රයකට සහාය දීම දේශපාලනමය වශයෙන් හානියක් වන බව පෙනීයෑමත් සමගිනි.

                                                                                                                                           වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top