මාස හයට 250ක් මරුට: ඩෙංගු හා සටනට ඕස්ට්‍රේලියාවෙන් කෝටි පහක් | VIDEO

පසුගිය හය මාසය තුලදී  ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය වැළඳුනු ජන සංඛ්‍යාව ඊට පෙර අවුරුදු හය තුලදී අදාළ කාල සීමාවේදී රෝගාතුර වූ සංඛ්‍යාව මෙන් තුනහමාරක වාර්තාගත වැඩිවීමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවෙහි දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛන ඇසුරින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ ජනවාරියේ සිට ජූලි 7 දා දක්වා රෝගය වැළඳුනු 82, 543 ක් අතරින් 250 දෙනකු මියගිය බවයි.

ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් එළිදැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ ඊට එරෙහිව සටන් වැදීම සඳහා රුපියල් කෝටි පහකට අධික මුදලක් ලබාදෙන බව දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඕස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමතිනී ජූලි බිෂොප් 20 බ්‍රහස්පතින්දා කොළඹදී ප්‍රකාශ කර සිටියාය.

මීට අමතරව ස්වාභාවිකව හටගන්නා  වොල්බැචියා නම් බැක්ටීරියාව ශි‍්‍ර ලංකාවට හඳුන්වා දී ඩෙංගු සදහටම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මොනෑෂ් සරසවිය හවුලේ පර්යේෂණ පැවැත්වීමට තවත් රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දෙන බවද ඇය ප්‍රකාශ කර සිටියාය.

එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව පවසන පරිදි නාගරික සහ අර්ධ නාගරික පෙදෙස් වල රෝග තත්වය වඩාත් බරපතලය.

වැඩිම මරණ බස්නාහිර

එහිදී වැඩිම මරණ සංඛ්‍යාව සිදුවී ඇත්තේ රෝගීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් හමුවී තිබෙන බස්නාහිර පළාතෙනි.  මියගිය පිරිස 128 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 18, 761ක්ද, ගම්පහින් 12, 121ක්ද, කුරුණෑගලින් 5,065ක්ද,  කළුතරින් 4,589ක්ද, මහනුවරින් 4,209ක්ද රෝගීන් හමුවී තිබේ.

මේ අතර ඩෙංගු රෝගය වැළඳී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් සියයට තිහක් පාසල් දරුවන් බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

අප්‍රේල් මාසයේ අඩු වූ රෝගාතුර වීම මෝසම් වැස්සෙන් පසු ජූනි මාසයේ බරපතල ලෙස ඉහල ගොස් තිබේ.  ඊට හේතුව වී ඇත්තේ වලවල් වල දිය රැඳී සිටීම සහ කසල ඇතුළු මදුරු කීටයන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ පමාව බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි.

ඩෙංගු අවදානම පහත හෙලීම සඳහා සැලසුමක් සකස් කර ගැනීමට රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තමන් සෞඛ්‍ය අමාත්‍යංශයට තාක්ෂණික ආධාර ලබා දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

Related posts

Comments are closed.

Top