STF සමුහඝාතනයක් ගැන උතුරු අයර්ලන්තයේ පැමිණිල්ලක්

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් තිස් වසරකටත් ඉහත කාලයකදී ශ්‍රී ලංකාවේ සිදුකළ බවට චෝදනා නැගෙන සමුහඝාතනයක් සම්බන්ධයෙන් උතුරු අයර්ලන්තයේදී කරන ලද පැමිණිල්ලක් භාරගෙන තිබේ.

සිය පවුලේ දසදෙනකු 1986 දී ඝාතනය කරන ලද බව ප්‍රකාශ කරමින් දෙමළ වැන්දඹු කාන්තාවක් විසින් පැමිණිලි කර තිබුනේ රාජකීය අල්ස්ටර් කොන්ස්ටබියුලරි (RUC) යනුවෙන් හැඳින්වෙන 2001 වසර දක්වා ක්‍රියාත්මක වුනු උතුරු අයර්ලන්ත පොලීසිය සහ ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (STF) අතර සම්බන්ධතා හෙළිදරව් වීමෙන් පසුවයි.

අසූව දශකයේදී පොලිස් නිලධාරීන් විසින් කරන ලද ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් තමන් විසින් භාරගන්නා ලද බව උතුරු අයර්ලන්ත පොලිස් ඕම්බුඩ්ස්මන්වරයාගේ කාර්යාලය අයිරිෂ් ටයිම්ස් පුවත්පතට පවසා තිබුනි.

පැමිණිලිකාරියගේ නීතිඥ ඩාරා මැකින් පුවත්පතට පවසා තිබුනේ STF බලකාය විසින් දෙමළ ජනතාවට එරෙහිව දියත් කරන ලද වගවිභාගයකින් තොර ඝාතන වර්ග සංහාරයක් සේ සැලකිය හැකි බවයි.

රහසිගත බ්‍රිතාන්‍ය රජයේ ලිපිගොනු වල දැක්වෙන පරිදි ඉහල පෙලේ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් “පොලිසිය සහ හමුදාව ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වල යෙදෙන ආකාරය,” අධ්‍යයනය කිරීම සඳහා  1983 දී බෙල්ෆාස්ට් අගනුවරට පැමිණ තිබේ.

කළු ජූලියෙන් පසු

දහස් සංඛ්‍යාත නිරායුද දෙමළ ජනතාව රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධිතව මරා දමන ලද කළු ජූලියෙන් අනතුරුව උතුරේ කැරලිකාරිත්වය සංවිධානගත වෙමින් සිටි ඒ සමයේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් උතුරු අයර්ලන්තයට ගොස් ඇත්තේ RUC කොමාන්ඩෝ බලකායක් වන විශේෂ ආධාරක ඒකකය විසින් කැරලිකාර අයර්ලන්ත ජනරජ හමුදාවේ (IRA) නිරායුද සාමාජිකයන් හය දෙනකු ආමා ප්‍රාන්තයේදී  මරා දැමීමෙන් මාස කිහිපයකට පසුය.

එයින් නොබෝ කලකින් උතුරු අයර්ලන්ත විශේෂ ආධාරක ඒකකය හා සමානවූ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලදී.

“මගේ පවුලේ උදවිය මරා දැමීමට වගකිව යුත්තේ STF එකයි,” යනුවෙන් අනාරක්ෂිත තත්වය නිසා නම හෙළි නොකළ දෙමළ කාන්තාව  පවසා තිබුනි.

ශ්‍රී ලංකාවේ “කොමාන්ඩෝ මෙහෙයුම් පුහුණුව” සඳහා බ්‍රිතාන්‍ය පොලිසියෙන් ඉල්ලීමක් කළ ශ්‍රී ලංකාවේ තානාපති නිලධාරීන් සමග ගනුදෙනු කරමින් ලියන ලද ලිපි මාලාවක් ගැනද පැමිණිල්ලේ සඳහන් වන බව අයිරිෂ් ටයිම්ස් වාර්තාව කියයි.

එයින් අනතුරුව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හර්බට් වීරසිංහ සහ පොලිස් විශේෂ බලකායේ සහකාර පොලිස් අධිකාරී කේ එස් පඩිවිට බෙල්ෆාස්ට් නුවරට ගොස් RUC ප්‍රධානීන් හමුවී තිබේ.

කීනි මීනි කුලී හේවායන්

1983 දී පිහිටුවන ලද STF බලකාය වසර ගණනාවක් තිස්සේ පුහුණුව ලද්දේ බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවා බලකායේ (SAS) අණදෙන නිලධාරියකුව සිටි බ්‍රයන් බැටී යටතේ වූ කීනි මීනි පෞද්ගලික ආරක්ෂක සමාගමේ කුලී හේවායන් විසිනි.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධනගේ ආරක්ෂක උපදේශක වූ ඔහුගේ පුත් රවී ජයවර්ධන එම පුහුණුව ලබා දීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් විය.

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් 1985 දී මඩකලපු දිස්ත්‍රික්කය භාර ගැනීමෙන් අනතුරුව කල්ලඩියේ පළමු කඳවුර පිහිටුවන ලද්දේ පසුව පොලිස්පති ලෙස පත් කරන ලද එන් කේ ඉලංගකෝන් ය.

එයින් ටික කලකදී ඊරෝස්, ටෙලෝ, ප්ලොට් සහ ඊපීආර්එල්එෆ් යන දෙමළ සන්නද්ධ කණ්ඩායම් සාර්ථකව මැඩ පවත්වන්නට හැකිවූ බව මහත් ආඩම්බරෙන් පවසන STF බලකාය මඩකලපුවේ සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රහාර දියත් කළ බවට නැගුනු චෝදනා මේතාක් විමර්ශනය කර නැත.

පැමිණිලිකාරිය ගේ පවුලේ සාමාජිකයන් මරා දමන ලද වකවානුවේ ලියන ලද එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවා (CIA) වාර්තාවක් පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

“මුර සංචාර වල යෙදී සිටියදී වෙඩි පහරට ලක් වුනු විට STF බලකායේ සාමාන්‍ය යුද්ධෝපාය වුනේ ලඟම ගම්මානය පොළොවට ගිනිබත් කර දැමීමයි,” යනුවෙන් එහි සඳහන් වේ.

Related posts

Comments are closed.

Top