එජා විශේෂඥයන් පිටව ගිය සැනින් විදේශ ඇමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවේ | VIDEO

ජාත්‍යන්තර පරිමාණයෙන් දිගටම හෙලා දැකීමට ලක්වන ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශවල ප්‍රතිරූපය නගා සිටුවීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ අමාත්‍යවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ.

දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු හමුදාවේත් පොලිසියේත් ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් සහ පොලිසියේ සුදු වෑන් පැහැර ගැනීමක් අසාර්ථක වීමෙන් පසු විදේශ අමාත්‍ය රවි කරුණානායක විසින්  ආරක්‍ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ රජයේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ මහලේකම් ආදීන් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා “ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේදැ,” යි සාකච්ඡා කර තිබුනේ 24 සඳුදාය.

වර්තමාන පාලනය යටතේත් ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් අත් අඩංගුවේ දී වධ හිංසා පමුණුවන බව දිවයිනේ සිව් දින සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් නිගමනය කර තිබුනි.

ඔහු පිටව යාමත් සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනය කොට උපදෙස් දීම සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශයේ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් තෙදින නිල සංචාරයක යෙදුනේය.

“ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැරදි ප්‍රතිරූපයක් ඇත්නම් එය නිවැරදි කළහැක්කේ කුමන ආකාරයටද යන්නත් මෙහිදී අවධානයට යොමු විය,” යනුවෙන් සඳුදා හදිසි සාකච්ඡාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. “එමෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල ගෞරවය, සුරක්‍ෂිතතාවය, එමෙන්ම රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා වන ආකාරයෙන් කටයුතු කිරීම සදහා ගතයුතු පියවරයන් මෙන්ම ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී අවධානයට ලක්වු කරුණු අතර වේ.”

විජයදාස රාජපක්ෂ

විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය සහ ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් වලට අනුකූල වන පරිදි කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ අධිකරණ අමාත්‍යවරයාගේ බරපතල විරෝධයට හේතුවී තිබුනි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා  හමුවූ අවස්ථාවේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබුනු අතර නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි කැබිනට් අමාත්‍යවරයකු ගගන හා කියා සිටියේ අධිකරණ අමාත්‍යවරයා කටයුතු කළ ආකාරය රාජ්‍ය තාන්ත්‍රික භාවයට නොගැලපෙන බවට විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර ද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දොස් පැවරූ බවයි.

ජාතික ආරක්ෂාවේ නාමයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත දෙමළ ජනතාවට වධහිංසා පැමිණවීමට යොදාගන්නා බවත් ප්‍රකාශ කළ විශේෂ නියෝජිතයා යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කොට වගකිවයුත්තන් ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව කිසිත් නොකරන බව කියා තිබුනි.

“යුද සමයේත් එතැන් සිටත් බරපතල මානව හිමිකම් උල්ලංඝන සිදුකළ යුද හමුදාවේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වගකීම සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩුව මේතාක් කිසිත් කර නැතැ,” යි බෙන් එමර්සන් වාර්තාවේ සඳහන් වෙයි.

යුද අපරාධ විභාගය

යුද්ධයේදී දෙපාර්ශවය විසින්ම කරන ලද අපරාධ විභාග කිරීමට විශේෂ අභිචෝදක කාර්යාලයක් අනාගතයේදී පිහිටුවනු ලබන බවට අගමැති රනිල් වික්‍රමසිංහ  එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට සහතිකයක් දී තිබුනි.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම මත ජාත්‍යන්තරය දිනා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රටේ මානව හිමිකම් ආරක්‍ෂා කර ගැනීම හා රටක් ලෙස ඊට මුහුණදිය යුත්තේ කෙසේද යන්න,” විදේශ ඇමැති හා ආරක්ෂක ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවට බඳුන් වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

“තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු ජාතින්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කරගැනීම සඳහා ආරක්‍ෂක අංශවල වගකීම හා දායකත්වය, මෙන්ම එය ශක්තිමත් කිරීම, ඒ සඳහා බාධක ඇත්නම් එය හදුනාගැනීම ද  සාකච්ඡාවේදී අවධානයට ගැනින.”

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල විශේෂඥ දැනුම හා අත්දැකීම් වෙනත් රටවල් සමග හුවමාරු කර ගැනීම හා ආරක්‍ෂක අංශයේ විදේශ පුහුණුවීම් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යෑම මූලික කොට සාකච්ඡාව පවත්වන ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පොලිසිය හා හමුදාව දිගටම සිදුකරන මානව හිමිකම් උල්ලංඝන නැවැත්වීම සඳහා රජය ජාත්‍යන්තර වශයෙන් දී ඇති පොරොන්දු ඉටු නොකළොත් රටේ නැවත යුද්ධයක් වුව ඇවිල යා හැකි බවට විශේෂ නියෝජිත බෙන් එමර්සන් සිය නිල සංචාරය හමාරයේ බරපතල අනතුරු ඇඟවීමක් කර තිබුනි.

Related posts

Comments are closed.

Top