හම්බන්තොට වරාය චීනයට දීමට එරෙහිව සිකුරාදා වැඩ වර්ජනයක්

හම්බන්තොට වරාය චීනයට බදු දීම සඳහා වන ගිවිසුමට විරුද්ධව එළඹෙන සිකුරාදා (28) වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි.

රජය අත්තනෝමතික ලෙස කැබිනට් පත්‍රිකාවක් දමා ඊට අනුමැතිය ලබාගෙන හම්බන්තොට වරායේ මෙහෙයුම් හා සේවා කටයුතු සමාගම දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යන බව ඔවුන්ගේ චෝදනාවයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මිට පෙර ද දැඩි උද්ඝෝෂණ පැවැත්වූ අතර ඉන් අනතුරුව තාවකාලිකව එය අත්සන් කිරීම පසුවට කල් තැබුණි.

පෙර පැවති උද්ඝෝෂණයක්

කැබිනට් අනුමැතිය

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම අතර අත්සන් තැබීමට නියමිත වරාය සහන ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අඟහරුවාදා (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.

හම්බන්තොට වරාය සහන ගිවිසුම අනුව මෙහෙයුම් හා සේවා කටයුතු සමාගම දෙකක් යටතේ සිදු කරනු ලබයි.

වරායේ පරියන්ත කටයුතු සිදු කරනු ලබන සමාගමෙන් සියයට 30ක කොටස් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු වන අතර සියයට 70 ක් චයිනා මර්චන්ට් පෝට් සමාගමට හිමි වනු ඇත.

Related posts

Comments are closed.

Top