හිදැස: එජාවිශේෂ නියෝජිත, රාජිත හා විජයදාස සහ ආණ්ඩුව බිඳී යාමේ අවදානම හමුවේ TNA

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් විසින් ඉවත්ව යන බවට කළ තර්ජන නිරන්තරයෙන් මුල් පි‍ටු තුළ පළ වීම් සමගින්, ජාතික සමගි රජයේ අනාගතය පිළිබඳව භාෂා දෙකේම පුවත්පත් තුළ විශාල වශයෙන් වාර්තා පළ වනු දක්නට ලැබිණි. මෙම මත හුවමාරු කරගැනීම් හරහා මේ මොහොතේදී සිදුවන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවන්ටද පසුතලය නිර්මාණය වී තිබිණි.

දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීම සිංහල පුවත්පත් තුළ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුණද, දමිළ පුවත්පත් තුළ ඒ සඳහා ලැබී තිබුණේ ඉතා අඩු අවධානයකි.

තවදුරටත්, පළාත් සභා මැතිවරණයන් පැවැත්වීමට රජයට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම සතියේ දමිළ මෙන්ම සිංහල පුවත්පත් තුළින්ද රජයට විවේචන එල්ල වී තිබිනි. මෙම ගැටළුව සම්බන්ධයෙන් මේ සතියට පෙරාතුව දමිළ පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ ඉතාමත් අඩු වශයෙනි. දමිළ මෙන්ම සිංහල පුවත්පත් තුළද ඉතාමත් අවම මාධ්‍ය ආවරණයක් ලැබුණු එක් සිදුවීමක් වූයේ, අතුරුදන් වූවන්ගේ කාර්යාලය ගැසට් කිරීමේ පුවතයි.

බෙන් එමර්සන්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු 

මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ත්‍රස්තවාදය පි‍ටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් පසුගිය සතියේ දින හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණුනි. සංචාරය අවසානයේදී එමර්සන් විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ වද හිංසා පැමිණවීම ආවේණික සහ එදිනෙදා යමක්’ බවට පත්ව ඇති බවයි.එසේම ශ්‍රී ලංකාවේ සංහිඳියාව කරා වූ ප්‍රගමනය නැවතීමක් දක්වා මන්දනය වී ඇති බවද ඔහු විසින් නිරීක්ෂණය කොට තිබිණි.

එමර්සන්ගේ සංචාරය අතරතුරදී සිදුවූ සිදුවීම් සහ රජයේ මානව හිමිකම් වාර්තාවන් කෙරෙහි ඔහු විසින් ලබාදුන් අසතු‍ටුදායක යැයි කිව හැකි තක්සේරුව, දමිළ සහ සිංහල පුවත්පත් තුළ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර මැවීමට සමත්ව තිබිණි.

මෙහිදී දමිළ පුවත්පත් මගින් ශ්‍රී ලංකා රජයට බලකොට සිටියේ මෙම විශේෂ නියෝජිතවරයාගේ ප්‍රතිචාර අනුව තමන්ගේ ගමන නිවැරදි කරගන්නා ලෙසයි. එනමුත් සිංහල ජාතිකවාදී පුවත්පත් මගින් ඔහුගේ අරමුණු ප්‍රශ්න කිරීමටත්, එයින් නොනැවතී පුද්ගලික ප්‍රහාර එල්ල කිරීමටත් කටයුතු කර තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් දිවයින තීරු ලිපියක් මගින් ප්‍රකාශ කොට තිබුණේ එමර්සන් මින් පෙර බාල අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවටත්, ඔහු කොසෝවෝ සංහාරයන්ට වගකිවයුතු යැයි චෝදනා ලැබූ අපරාධකරුවකු වෙනුවෙන්ද පෙනී සිට ඇති බවත්ය.

විජයදාස රාජපක්ෂ හා රාජිත සේනාරත්න

මෙයට අමතරව සිංහල පුවත්පත් මගින්, එමර්සන් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා අයුතු ලෙසින් මැදිහත්වන බවට චෝදනා කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කළ ප්‍රකාශද පුළුල්ව ගෙන හැර දක්වන්නට යෙදිනි. අනෙක් අතට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න විසින් මෙයට ප්‍රතිපක්ෂව දැක්වූ ප්‍රකාශයන්ට සිංහල පුවත්පත් ආවරණය ලැබී තිබුණේ සුළු වශයෙනි. ජාත්‍යන්තර පොරොන්දු ඉ‍ටුකිරීමෙහි ලා රජය පසුපසින් සිටිනා බව පිළිගත් සේනාරත්න අමාත්‍යවරයා විසින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කටයුතු කිරීමේදී රාජ්‍ය තාන්ත්‍රික උපායයන් සහ ප්‍රවේසම් සහගත බව භාවිතා කළ යුතු බවට පොළඹවන සුළු ප්‍රකාශයක් කරන ලදී.

සිංහල පුවත්පත් තුළ මෙම ප්‍රකාශ දෙක පිළිගත් ප්‍රතිවිරුද්ධ ආකාරය මගින් පෙනෙන්නට ඇත්තේ, බටහිර රටවල් සමගින් සමීප සබඳතා පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර බලවේගයන් උපායමාර්ගිකව වාසිදායක ලෙසින් තබා ගැනීම යහපත් ලෙසින් ගනිමින් ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ, මෑතකදී තිබූ දැක්මෙන් ඔවුන් අපගමනය වෙමින් සිටිනා බවයි. අනෙක් අතට දමිළ පුවත්පත් මගින් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ අදහස් ප්‍රතිරාවය කරන්නට යෙදුණු අතර, රාජපක්ෂ වරුන්ගේ ප්‍රසිද්ධ කැරලි ගැසීමෙන් පසුව රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හා ගැ‍ටුමක් ඇති කරගැනීමට දිවෙන මාර්ගයේ සිටිනා බවද අනුමාන කරන්නට යෙදිණි.

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල් – 2017 ජූලි 23

රජයේ භේදය සහ දෙමළ ජාතික සන්ධානය 

රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විසින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සමගි රජයේ සාර්ථක වීමේ හැකියාව ප්‍රශ්න කිරීමට පටන් ගැනීම අභිමුඛව, දමිළ පුවත්පත් මගින් ගැටළු දෙකක් සාකච්ඡාවට ගෙන තිබිණි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ලක්ව තිබූ කරුණ වූයේ, විය හැකි දෙකඩ වීමක් ව්‍යවස්ථා සම්පාදන ප්‍රයත්නයන්ට කෙසේ බලපානු ඇතිද යන්නයි. මේ සම්බන්ධ දමිළ දේශපාලන මතාන්තරයන් සර්ව අශුභවාදී වූ බව දක්නට ලැබිණි. මෙවැනි දෙකඩ වීමක් මගින් වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට විනාශය ගෙන දෙනු ඇති බවට බොහෝ දමිළ දේශපාලන ලියුම්කරුවන් තර්ක කොට සිටියත්, තවත් අය විසින් පෙන්වා දුන්නේ මෙම සමගි රජය පවත්වාගෙන යාමට බලකිරීම මගින් සිදුවනු ඇත්තේ වෙනත් අත්‍යාවශ්‍ය ගැටළු ලඝු වී යෑම පමණක් බවයි.  තිනකුරල් තීරු ලිපිකරුවෙකු විසින් නිරීක්ෂණය කරනු ලැබුවේ, සම්බන්ධන් විසින් තමන්ට ඇති අතිවිශාල වාසිය ලෙසින් දු‍ටු ප්‍රධානතම සිංහල පක්ෂ දෙකේ ඓතිහාසික සන්ධානගත වීම දැන් ඔහුගේ විශාලතම ගැටළුව බවට පත්ව ඇතැයි යන්නයි.

දෙවෙනුව සැලකිල්ලට බඳුන් වූයේ, යම් කිසි ලෙසකින් සිදුවන දෙකඩ වීමකදී පාර්ලිමේන්තු සභිකයන් 16 දෙනකු සමගින් දෙමළ ජාතික සන්ධානයට පක්ෂ දෙකෙන් කුමක් සමගින් හෝ සන්ධාන රජයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතිද යන කරුණයි. වීරකේසරී මත දැක්වීමේ ලිපියකින් යෝජනා කරනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට පිටස්තරයෙන් සහාය ලබාදීම සඳහා දෑත් දිගුකිරීම සුදුසු බවයි. කෙසේ වුවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන් විසින් මෙම අනුමාන කිරීම් නැතිකිරීම සඳහා ඉදිරියට පැමිණි අතර, ඔහු විසින් ප්‍රකාශ කෙරුණේ තම පක්ෂය රජයට ඇතුල් වීමට අදහස් නොකරන බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top