ත්‍රස්ත චෝදනා යටතේ හිරේ ඉන්නා අයගේ රජයේ ලැයිස්තුව අසම්පුර්ණයි | VIDEO

 

අතුරුදහන් තම ඥාතීන් ගේ ඉරණම හෙළි කරන ලෙස උතුරේ දින එකසිය පනහද ඉක්මවා සත්‍යග්‍රහ පැවැත්වෙද්දී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු කටයුතු හමාර නොකොට අවුරුදු ගණනාවක් සිරභාරයේ රඳවාගෙන සිටින සියයකට ආසන්න පිරිසකගේ නම් ලැයිස්තුවක් රජය විසින් සම්පාදනය කර තිබේ.

අත් අඩංගුවට ගන්නා ලද බව දන්නා බොහෝ දෙනකුගේ විස්තර එම ලේඛනයේ අඩංගු නොවන බව පෙන්වා දෙන මානව හිමිකම් සංවිධාන එය අංග සම්පුර්ණ කොට නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කරන ලෙස රජයට බල කර සිටී.

වසර දහයකට වැඩි කාලයකට පෙර අත් අඩංගුවට ගන්නා ලද අය ගේ නම්ද දැක්වෙන සිලෝන් ටුඩේ පුවත්පත විසින් මුලින්ම ප්‍රසිද්ධියට පත් කරන ලද එම ලියැවිල්ලේ රජයේ බලධාරීන් සකස් කළ පිටපතක් ගගන වෙතද ලැබී තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමේ විවිධ චෝදනා යටතේ සිරගත කොට සිටින මෙන්ම කිසිදු චෝදනාවක් නොමැතිව සිරගත කොට සිටින අයගේ ද නම් එහි සඳහන් වේ.

කොළඹ, මහර, අනුරාධපුරය, යාපනය, මඩකලපුව සහ යාපනය ඇතුළු ස්ථාන කිහිපයක බන්ධනාගාර ගත කර සිටින දෙමළ බහුතරයක නම් එම ලැයිස්තුවට ඇතුලත්ය.

විජයදාස රාජපක්ෂ

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන 84 දෙනකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පෙන්වා දෙන දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය එම ලේඛනය සියලුදෙනාගේ විස්තර අඩංගු අංග සම්පූර්ණ ලියවිල්ලක් නොවන බව අවධාරණය කරයි.

“සමහර දෙමාපියන් කියා තියනවා තමන්ගේ දරුවාගේ නම් නෑ කියලා,” යි එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා ගගනට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

එසේ හෙයින්, නඩු පවරා නොමැති මෙන්ම දඬුවම් ලැබූ අයගේද නම් සහිත සවිස්තර අලුත් ලැයිස්තුවක් වහාම ප්‍රසිද්ධියට පත් කරන ලෙස සතිවේල් පියතුමෝ ඉල්ලා සිටිති.

පසුගිය මාසය මැදදී ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකුට රජය විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලද හැත්තෑවකට වැඩි පිරිසක් පස් අවුරුද්දකට වැඩි කාලයක් නඩු නැතිව රඳවා තබාගෙන ඇත.

තවත් දොළොස් දෙනකු නඩු නැතිව සිර කොටගෙන තබා ඇති කාලය අවුරුදු දහය ඉක්මවයි.

අධිකරණ අමාත්‍යවරයාගේ නම් 84 ට අමතරව තවමත් නඩු පවරා නැති එකොලොස් දෙනකුගේ නම් ගගන වෙත ඇති ලැයිස්තුවේ දැක්වෙන අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම 2016 ජූලි තරම් මෑත කාලයකදී වර්තමාන පාලනය යටතේ අත් අඩංගුවට ගන්නා ලද අයකුගේ නමද එහි ඇතුලත් වෙයි.

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට තැත් කිරීම, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය, හිටපු  හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනයට තැත් කිරීම සහ ආර්ථික මර්මස්ථාන වලට පහර දීම මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරද චෝදනා අතර වෙයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිත

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පවසා සිටියේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ හිතුමතේ අත් අඩංගුවට ගනු ලබන දෙමළ පුද්ගලයන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම සඳහා වධහිංසා කරන බවයි.

ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට රජය නගන චෝදනා සනාථ කිරීම පිණිස ගෙන එනු ලබන සාක්ෂි බහුතරයක් වධහිංසා දී බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණ බව අධිකරණය ද බොහෝවිට පිළිගෙන තිබෙන බව ඔහු පෙන්වා දී තිබේ.

අලුතින් හෙළිදරව් වී ඇති 95 දෙනාගේ නම් ලැයිස්තුව පිළිබඳව ගගන විසින් විමසන ලද අවස්ථාවේ දී මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර බෙන් එමර්සන් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියේය.

Related posts

Comments are closed.

Top