මුහුදින් එන ශ්‍රී ලාංකිකයන් බලෙන් හෝ “ඕස්ට්‍රේලියාවෙන් නෙරපනවා”

එක්සත් ජාතීන්ගේ ද බරපතල විවේචනයට ලක්ව ඇති සංක්‍රමණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින්  ගිය පිරිසක් ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවීමට පියවර ගෙන ඇති එරට බලධාරීන් අනාගතයේත් ශ්‍රී ලාංකිකයන් බලහත්කාරයෙන් හෝ නෙරපන බවට අනතුරු අඟවා තිබේ.

දහතුන් දෙනකු සිකුරාදා ශ්‍රී ලංකාවට ආපසු හරවා එවා ඇති බව පවසන ඔස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය මුහුදු මගින් පැමිණෙන්නන්ට එරට පදිංචියට ඉඩ සැලසෙන්නේ නැති බව අවධාරණය කරයි.

“ආරක්ෂාව සැලසීම සඳහා කිසිදු වලංගු හේතුවක් නැති බව හෙළිවූ නීති විරෝධී ලෙස මුහුදින් පැමිණෙන්නන් නෙරැපීම සඳහා ඕස්ට්‍රේලියා රජය දිගටම වෙහෙස දරනු ඇත,” යි මහ කොමසාරිස් කාර්යාලය කොළඹින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. “ස්වේච්ඡාවෙන් මෙන්ම නොකැමැත්තෙන්ද පුද්ගලයන් සහ කණ්ඩායම් ශ්‍රී ලංකාවට හරවා එවීම ඔස්ට්‍රේලියාව නොනවත්වා සිදු කරනු ඇත.”

බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ලඟා වන්නට උත්සාහ කරන සියලු දෙනාම නවතා ආපසු හරවා යවනු ඇති බව ගවේෂණ සහ මහජන දූත කටයුතු කාර්යාලය විසින් ප්‍රකාශිත නිවේදනය දැඩි සේ අවධාරණය කරයි.

ඒ සඳහා ඕස්ට්‍රේලියා ආණ්ඩුව පුද්ගල ප්‍රවාහනයේ යෙදෙන බෝට්ටුකරුවන්ට මුහුද මැදදී මුදල් ගෙවා හරවා යවන බවට තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිදරව් කර තිබුනි.

සිකුරාදා පෙරවරු 7.30 ට පමණ ගොඩබට 13 දෙනා පැය නමයක් පමණ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසු ගුවන් තොටුපලින් පිටත් කර හරින ලද බව ගගන කටුනායක වාර්තාකරු පවසයි.

සිය රටවල ජිවත් වීම අන්තරායකාරී බවෙන් ගැලවීම සඳහා බෝට්ටු මඟින් පැමිණෙන සරණාගතයන් සහ දේශපාලන රැකවල් පතන්නන් පැපුවා නිව් ගිනීයා හෝ නාවුරු දුපත් වෙත පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්තියයි.

සංක්‍රමණිකයකු මරුට

එසේ රඳවා තබනු ලැබූ සංක්‍රමණිකයකුගේ මල සිරුර පැපුවා නිව් ගිනියාවේ මානුස් දුපතේ දී සඳුදා උදෑසන හමුවී තිබුනි.

මානසික වශයෙන් අස්ථාවර තත්වයක සිටි මියගිය ඉරාන ජාතිකයා දූපතේ සිට ප්‍රධාන ගොඩබිමට ගෙනවිත් ප්‍රතිකාර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම් නොතකා හරින ලද බව ඔහු සමග රඳවා සිටි පුද්ගලයකු ඕස්ට්‍රේලියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනි.

“ඒ ඉල්ලීම් ඉෂ්ට කළා නම්, ඔහු තවමත් ජීවතුන් අතර වන්නට ඉඩ තිබුනි,” යි හරිත පක්ෂයේ ප්‍රකාශක සෙනෙට් සභික නික් මැකිම් පවසා තිබුනි.

තවමත් නම් කර නැති රැඳවියාගේ මරණය සිදුවී ඇත්තේ මානුස් දුපතේ රැඳවුම් කඳවුරු වලින් පිට කිරීමට ගන්නා ලද තීරණයට එරෙහි දින ගණනක් තිස්සේ උද්ඝෝෂණ පැවැත්වීමෙන් පසුවයි.

දේශපාලන රැකවරණ පතන්නන් රටින් පිට රඳවා ගැනීමේ දිගු කාලීන ප්‍රතිපත්තිය, විශාල හානියකට හේතු වී ඇති බවට එක්සත් ජාතින්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

කඳවුර තුලදී වධහිංසාවට ලක්වීමට එරෙහිව නඩු පැවරූ පැපුවා නිව් ගිනීයා හි රඳවා සිටින දෙදහසකට ආසන්න සරණාගතයන් වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 70 ක වන්දියක් ගෙවීමට පසුගිය මාසයේදී ඕස්ට්‍රේලියා රජය එකඟ විය.

Related posts

Comments are closed.

Top