උතුරේ 20 කට වැඩියෙන් දෙදිනක දී STF අත් අඩංගුවේ: මහ ඇමැති විරෝධය

සතියකට ඉහතදී උතුරේ වීදිවලට කැඳවන ලද සන්නද්ධ පොලිස් භට සේනා ප්‍රදේශවාසීන් බිය ගන්වමින් ගෙයින් ගෙට ගොස් සෝදිසි මෙහෙයුම් කර තරුණයන් අත් අඩංගුවට ගැනීම උතුරේ මහ ඇමැති වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

යතුරු පැදියක ගමන් කරමින් සිටි පොලිස් භටයන් දෙදෙනකුට ප්‍රචණ්ඩ කල්ලියක් විසින් කෝපායි හිදී පසුගිය 30 දා තියුණු අවියකින් පහර දීමට පසුදා පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (STF) සහ යුද හමුදාව උතුරේ මෙහෙයුම් සඳහා යොදවන ලදී.

සති අන්තයේ කරන ලද මෙහෙයුම් මගින් යාපනය දිස්ත්‍රික්කයේ අත් අඩංගුවට ගෙන ඇති පිරිස විස්සකට අධික බව යාපනයේ වාර්තාකරුවෝ පවසති.

යාපනයේ තිරුනෙල්වේලි හා කොන්ඩාවිල් හිදී දස දෙනකුද වඩමාරච්චියේ තුන්නාලෙයි, කඩවත්තෙයි සහ වෙම්බඩි  හිදී තවත් දස දෙනකුට වැඩි පිරිසක්ද STF විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තුන්නාලෙයි විරෝධතා

මේ මස මුලදී පොලිස් වෙඩි පහරින් යෝගරාජා දිනේෂ් තරුණයා මරුමුවට පත් වීමෙන් අනතුරුව ඔහුගේ ගම්වාසී තුන්නාලෙයි පදිංචිකරුවෝ කෝපාවිෂ්ඨ විරෝධතාවක යෙදුනහ.

ඉන් දින කීපයකට පසු පොලිසිය විසින් හඹායනු ලැබූ විරෝධතාකාරියක් ගැලවුනේ අධිකරණයට දිව යාමෙනි.

උතුරේ සති අන්ත මෙහෙයුම් වලින් ඇතැම් තරුණයන් අත් අඩංගුවට ගන්නා ලද්දේ විවිධ සැක පදනම් කොටගෙන බවත්, සමහරුන් නිසි හැඳුනුම් ලියවිලි ඉදිරිපත් නොකළ බවත් කෝපායි පොලිසිය පවසා තිබේ.

සති අන්ත STF සෝදිසි මෙහෙයුම් වලට විරෝධය දක්වමින් ප්‍රකාශයක් කරන මහ ඇමති සී වී විග්නේස්වරන් පවසන්නේ බොරු චෝදනා නගමින් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

පොලිස් භටයන්ට තියුණු අවියෙන් පහර දීමට පසුව හදිසි මාධ්‍ය හමුවක් කැඳවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින්නේ “මනාව පුහුණුව ලද” හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බවයි.

කෙසේවෙතත්, අත් අඩංගුවට ගැනීම් ගැන නිකුත් කරන නිවේදනයක් මගින් මහ ඇමැති විග්නේස්වරන් පවසා ඇත්තේ “අවි පුහුණුව ලත් කල්ලියක් ශ්‍රී ලංකා රජයේ හමුදාව සමග එක්වී” උතුරේ සන්නද්ධ ප්‍රචණ්ඩතා වල නිරත වන බවයි.

‘අලුත්’ ආණ්ඩුව

දෙමළ ජනතාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපකීර්තියට පත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා බලයට පත් මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවත් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සහ විරෝධතා වල නිරත ක්‍රියාකාරීන්ද අත් අඩංගුවට ගෙන, සිරකොට, ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධහිංසා පමුණුවන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් ලබා දී ඇති විශ්වසනීය තොරතුරු සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයෙන් කිහිපවර ඉල්ලා තිබේ.

අත් අඩංගුවේ ඉන්නා තරුණයන් හඳුනාගෙන ඇප ඉල්ලීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ නිලධාරීන් පවසා ඇත්තේ STF විසින් අත් අඩංගුවට ගන්නා ලද කිසිවකු නිදහස් කර යැවීම තමන්ට කළ හැකි කාරියක් නොවන බවයි.

කෝපායි හි කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් භටයන්ට තියුණු අවියෙන් පහරදීමේ ‘මහ මොලකරු’ ලෙස හඳුන්වන තිරුනෙල්වේලි පදිංචිකරුවකු ඇතුළු දෙමළ හතර දෙනකු කොළඹදී අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලිසිය පවසයි.

රිමාන්ඩ් භාරයට පත් කර සිටින පොලිස් භටයන්ට පහර දීම ගැන සැකයට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන දෙදෙනකු මේ මස 10  වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් හමුවට පැමිණවීමට නියමිතය.

තුන්නාලෙයි තරුණයා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද උප පොලිස් පරීක්ෂකයකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ මස 24 දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලදුව අනුරාධපුර බන්ධනාගාරයට යවන ලදී.

මීට අමතරව මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන් ඉලක්ක කොට වෙඩි තැබීමේදී ඔහුගේ ශරීරාරක්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර සැරයන් වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

සති අන්තයේ සිදුකළ මෙහෙයුම් වලදී පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් යතුරු පැදි ගණනාවක් සහ ලොරි රථ කිහිපයක්ද අත් අඩංගුවට ගන්නා ලදී.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්‌ඩායම් යාපනය අර්ධද්වීපය පුරා ජංගම සංචාර, යතුරුපැදි සංචාර, මාර්ග බාධක යොදවා පරීක්‌ෂා කිරීම් මෙන්ම පාමුර සංචාරවල ද නිරත වන අතර රාත්‍රී කාලයේදී මෙම මෙහෙයුම් වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් භටයන් දෙදෙනාට පහර දීමෙන් අනතුරුව පොලිස්පති විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.

දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පල කර තිබුනි.

Related posts

Comments are closed.

Top