මියගිය සරණාගතයාට බේත් හේත් කිරීම “අවුරුද්දක්ම මග ඇරලා”

 

පැපුවා නිව් ගිනීයා හි මානුස් දුපතේ රඳවා සිටියදී  මියගිය සරණාගතයා හට මීට වසරකට වැඩි කාලයකට පෙර සිට මානසික වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍යව තිබුණ ද බලධාරීන් එය නොතකා හැර ඇති බව හෙළි වී තිබේ.

ඉරාන ජාතික හමීඩ් ශම්ෂිරිපුර් නම් මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ 7 සඳුදාය. ඒ ඔහු රඳවා සිටි කඳවුරට ආසන්න වනාන්තරයක් තුළදි ය.

හමීඩ්, සියදිවි හානි කරගෙන ඇති බව පැපුවා නිව් ගිනීයා පොලිස් කොමසාරිස් ගැරී බාකි පවසා ඇත.

නමුත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මානුස් දිවයිනෙහි වෙසෙන සරණාගතයන් ඉල්ලීමක් කර තිබුනි.

හමීඩ්ගේ මානසික සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් පිරිහෙන බව ඕස්ට්‍රේලියා දේශසිමා ආරක්ෂක අංශ ප්‍රධාන වෛද්‍ය නිළධාරී ජෝන් බ්‍රෙලේ විසින් බලධාරීන් වෙත දන්වා ඇත්තේ මීට වසරකට ඉහතදීය.

එසේම ඔහුගේ වාර්තා සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසීමක් කර බලන බවත් වෛද්‍යවරයා පවසා ඇත.

මානුස් දුපතේ රැඳී සිටි කාලය තුළ හමීඩ්  පෙන්නුම් කළ ව්‍යාකුල තත්වය, අනපේක්ෂිත හැසිරීම, අස්ථායි ස්වරුපය යන කරුණු හේතු කොට ගෙන වෘත්තීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිතර ඉල්ලීම් කර තිබේ.

සංක්‍රමණික කඳවුරේ වෙසෙන සියලු රැඳවියන්ගේ සෞඛ්‍ය කටයුතු භාරව සිටින වෛද්‍ය බ්‍රෙලේ විසින් 2016 අගෝස්තු 26 වැනි දින ලියා අත්සන් කළ ලිපියක සඳහන්ව ඇත්තේ හමීඩ්ගේ මානසික සෞඛ්‍ය තත්වය ඉතා අයහපත් අතට හැරෙමින් ඇති බවය. එසේම ඔහුගේ ලිපි ගොනු ලබා දෙන මෙන් ද ඉල්ලීමක් කර තිබේ.

ඉරාන ජාතික දේශපාලන රැකවරණ අපේක්ෂකයකු වූ හමීඩ් ශම්ෂිරිපුර්ගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් මානුස් දිවයිනෙහි රැඳවුම් කඳවුර වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක්

මෙම සරණාගත පුද්ගලයාගේ රෝග තත්වය පිළිබඳව වෛද්‍යවරයා පෞද්ගලිකවම අවධානය යොමු කළ බව විද්‍යුත් තැපැල් ලිපි හුවමාරු කිරීම් සිදු කළ ඔහුගේ විධායක සහකරු පවසා ඇත.

කෙසේ  වෙතත් මානසික ව්‍යාධි තත්වයන් කිහිපයක්ම වාර්තා වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් වූ ඔහු මාසයක පමණ කාලයක් සිර අඩස්සියේ පසුවිය.

ප්‍රතිකාර වෙනුවට ගුටි බැට

හමීඩ් හට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට අත්අඩංගුවට පත්වීම සහ ගුටි බැට දීම සිදු කළ බව සඳහන් කරමින් ඔහුගේ මිත්‍ර සරණාගතයන් සහ දේශපාලනික රැකවරණය අපේක්ෂා කරන්නන් 14 දෙනකු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සිදුවීමත් සමඟ, මානුස් දිවයින තුළ “ක්‍රමයෙන් වර්ධනය වන අර්බුද” රැඳවුම් කඳවුර බලහත්කාරයෙන් වසා දැමීමට හේතු වනු ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් අනතුරු අඟවා තිබේ.

එසේම හමීඩ්ගේ මරණය පිළිබඳව බලවත් කණගාටුව පල කර ඇත.

හමීඩ්ගේ මළ සිරුර ඔස්ට්‍රේලියාවට ගෙනවිත් ස්වාධීන මරණ පරීක්ෂණයක් සිදු කිරීමට එරට ග්‍රීන් පක්ෂයේ සෙනට් සාමාජික නික් මැක්කිම් ඉල්ලීමක් කර තිබේ.

“හමීඩ් ඕස්ට්‍රේලියාවේ සිරකරුවෙක්, ඔහු මියගියේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීම අපේ රජයේ වගකීමක්,” යනුවෙන් මැක්කිම් පවසා ඇත

 

Related posts

Comments are closed.

Top