උතුරේ දොස්තරවරුන්ට යාපනයේම වැඩිදුර අධ්‍යාපනය

 

උතුරු පළාතේ වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා යාපනය විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සදහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව එකඟත්වය පළ කරන ලද බව උතුරු පළාතේ වෛද්‍යවරුන්ගේ සංසදයේ නියෝජිත හමුවකදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා තිබේ.

මෙම වසර තුල දී ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ උසස්වීම් ලබාගැනීම සදහා ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

යාපනය ශික්ෂණ රෝහලට සහ වෛද්‍ය පීඨයට අනුයුක්තව ආරම්භ කිරීමට නියමිත විශේෂ ළමා රෝහල පිළිබදව ද මෙහිදී සාකචිඡා කෙරුන අතර ඒ සදහා අවශ්‍ය භුමිය ඉදිරි දෙසතිය තුල නිදහස් කර ගැනීමටත්, ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරිමටත් මෙහිදී තීරණය වූ බව රජය පවසයි.

උතුරු පළාතේ රෝහල් සංවර්ධන කටයුතු සදහා රුපියල් බිලියන 09 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති බව මෙන්ම එම සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගැනීමට මැදිහත්වන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා එම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබේ.

රෝහල් සංවර්ධනයට වැඩිම මුදලක්

නව පිළිකා රෝහල, පුනරුත්ථාපන රෝහල, මාතෘ හා ළමා රෝහල, ඒ අතර ප්‍රධාන වන අතරම බස්නාහිර පළාතට පසු රෝහල් සංවර්ධනය සදහා වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ උතුරු පළාතට බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර ඇත.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ විකලාංග ඒකකයට සහ කිළිනොචිචිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසටද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ පිඨාධිපතිවරයා ඇතුලු කථීකාචාර්යවරුන් එක්ව සිටියහ.

Related posts

Comments are closed.

Top