“මා අත වරද නැත” ඇමැති රවී “යහපාලනය වෙනුවෙන්” ඉල්ලා අස්වෙයි

මුල්‍ය වංචා සම්බන්ධ චෝදනා නිසා ඉල්ලා අස් වන්නට රජය තුලින්ද කෙරුනු බලපෑම් හමුවේ රවී කරුණානායක තුන් මසකටත් අඩු කලක් තමන් දැරූ විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූයේ තමන් වරදකරුවකු නොවන බවට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක කෙටිම කාලයක් විදේශ අමාත්‍ය ධුරය දැරූ අයකු ලෙස රවි කරුණානායක ඉතිහාස ගතවෙයි.

ඊට පෙර මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී මහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබන ඔහුට විරුද්ධ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාස භංග යෝජනාවක්ද පාර්ලිමේන්තුව හමුවේ පවතී.

තමන් වෙත එල්ල වූ සියලු චෝදනාවලට කිසිම පදනමක් නොමැති බව පවසන ඉකුත් වසරේ හොඳම මුදල් ඇමති ලෙස සම්මාන ලැබූ රවී කරුණානායක පවසන්නේ තමන් විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළේ “යහපාලනය වෙනුවෙන්” බවයි.

 

අධි සුඛෝපභෝගී නිවස

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 14 ක පමණ මුදලක් ගෙවා ඇතත් එහි පදිංචිව සිට ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක බව බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වීමත් සමඟම අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය ප්‍රකාශ කර තිබුණි.

අදාල නිවාස ගනුදෙනුව සඳහා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සම්බන්ධය බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ ඉකුත් ජූලි 24 වන දාය.

එම කරුණු හෙළිවීමත් සමඟම රවී කරුණානායක අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේනම් සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කෙරුණි.

තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය “ඉතා ආඩම්බරයෙන්” ගන්නා ලද තීරණයක් බවත් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ රවී කරුණානායක තමා කිසි විටෙකත් දේශපාලනය තුළින් මුදල් හම්බ කළේ නැති බවත් තම ව්‍යාපාර සඳහා කිසිම අවස්ථාවක දේශපාලනය සම්බන්ධ නොවූ බවත් අවධාරණය කළේය.

රවී කරුණානායක ඇමැතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන්නැයි දේශපාලනඥයන් රැසක් ඉල්ලීම් කර තිබු බව මෙන්ම ජනපති හා අගමැති හමුවී 09 බදාදා විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් තමන්ට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා බලපෑම් නොකළ බවට රවී කරුණානායක ඇමැතිවරයා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුනි.

Related posts

Comments are closed.

Top