අලුත් ව්‍යවස්ථාව හා හොරු ඇල්ලීම පරක්කු වීමට විරුද්ධ වේදිකාවේ රජයේ ඇමැතිවරු | VIDEO

මෛත්‍රී රනිල් පාලනය බිහිකිරීමට උරදුන් ජනතාවගේ ප්‍රධාන අපේක්ෂා ඉටු කිරිමට ආණ්ඩුව තවමත් අපොහොසත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පල කරමින් එම ඉල්ලීම් ඉටු කිරීමට බල කරන ප්‍රසිද්ධ රැළියකට රජයේ මුල් පෙළේ ඇමැතිවරු සහභාගි වූහ.

යහපාලන රජය බලයට පත්විමට ලබා දුන් පොරොන්දු ඉටු කරන කරන ලෙසට රජයට බල කරමින් හැට දෙලක්ෂයේ ජනතා එකතුව විසින් 15 අඟහරුවාදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සංවිධානය කළ සත්‍යග්‍රහයට රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා, මනෝ ගනේෂන් සහ මංගල සමරවීර ඇමතිවරුන් ක්‍රියාකාරීව සහභාගි වී සිටිනු දකින්නට ලැබුනි.

රජය ජනතාවට දුන් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ පිලිබඳව සතුටු වන නමුත් යහපාලන රජය බිහි කිරිමට උර දුන් සිවිල් ක්‍රියාධාරයන්ට නැවත මෙසේ රජයට බල කරමින් පොරොන්දු ඉටු කරවා ගැනිමට සිදුවීම පිලිබඳව දුක් වන බවයි ඇමැතිවරුවන් එහි පැවති ප්‍රසිද්ධ රැස්වීම අමතමින් කියා සිටියේ.

යහපාලනය තහවුරු කිරීම අත්‍යාවශ්‍ය වන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට බාධා කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල දෝෂ දර්ශනයට ලක් කළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එම ඇමැතිවරු ව්‍යවස්ථා සංශෝධන ජනමත විචාරණයකින් අනුමත වන බවට දැඩි ලෙස විශ්වාසය පළ කළහ.

“හොර බලකාය”

ජනතාවට අවශ්‍ය පරිදි රට වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකසන බව සපථ කළ ඇමැති රාජිත සේනාරත්න ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු “හොර බලකාය” බවටයි චෝදනා කළේ.

යහපාලන රජය බිහි කිරීමේදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ බව මෙන්ම ඒ වෙනුවෙන් සියලු බලවේග එක්වී ඇති බව ද ඇමැති රාජිත ජනතාව හමුවේ පැවසීය.

පලාත් පාලන මැතිවරණයට හා පලාත් සභා මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාවක් සකස් කර ජනමත විචාරයක් පැවැත්වීමට රජයට බල කරන බවයි රජයේ තවත් අමාත්‍යවරයකු වන මනෝ ගනේෂන් කියා සිටියේ.

මැතිවරණ වලට රජය සමඟ එකතු නොවූ පිරිස් පවා ව්‍යවස්ථාවක් සඳහා වු ජනමත විචාරණයකට සිය සහයෝගය ලබා දෙන බවට විශ්වාසය පල කළ ඇමැතිවරයා “මහින්ද නඩය” ලෙස ඔහු විසින් හඳුන්වනු ලැබූ හිටපු ජනාධිපති ගේ නායකත්වයෙන් යුත් බලවේග කොන් කිරිමට ගත හැකි බුද්ධිමත් ක්‍රීයා මාර්ගය එය බව පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් හොර කමට විරුද්ධ බව කී අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ” අපේ ආණ්ඩුව ඇතුලේ හොරකම අනුමත කරන එකෙක් ඉන්නවනම්, හොරකම් කරන එකෙක් ඉන්නවනම්, ඌවත් අපි හිරේ අරිනවා” යි පැවසීය.

එජාප ඉල්ලා අස්වීම් හා පත්වීම්

මහත් ආන්දෝලනයට ලක්වූ ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පෙනී සිටීම නිසා විශ්වාස භංගයකට මුහුණ දීමේ අවදානමට ලක්ව සිටියදී 2015 නොවැම්බරයේ ඉල්ලා අස්වන්නට සිදුවූ එක්සත් ජාතික පක්ෂයේ තිලක් මාරපන හැට දෙලක්ෂයේ ජනතා එකතුවේ සත්‍යග්‍රහය හා රැළිය පැවැත්වූ දාම විදේශ අමාත්‍යාංශය බාර දෙන ලදී.

ඔහු පත් කරන ලද්දේ මූල්‍ය වංචා සම්බන්ධ චෝදනා රැගත් විශ්වාස භංගයක් හමුවේ ඉල්ලා අස් වන්නට සිදුවූ වත්මන් පාලනයේ දෙවැනි එජාප අමාත්‍ය වරයා වන රවි කරුණානායකගේ පුරප්පාඩුවටය.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම සහ අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කරන ලෙසටද මෙහිදි රජයට බල කෙරුණි.

Related posts

Comments are closed.

Top