ඇමැති ධුරයෙන් වි‍ජයදාස නෙරැපීමේ එජාප පියවරට මහනායක හිමි විරෝධය | VIDEO

දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති දේශපාලන බලවතුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාවට ලක් වී සිටින අධිකරණ ඇමැතිවරයා ධුරයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් ගන්නා උත්සාහයට මහනායක හිමිවරුන්ගේ විරෝධය එල්ල වී තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැඳවා විශේෂ ප්‍රකාශයක් කරමින් අස්ගිරි මහ විහාරයේ ලේඛකාධිකාරී නාහිමියෝ විරෝධය පළකර සිටියහ.

“අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයා කටයුතු කළේ රට වෙනුවෙන් යැයි අපට පැහැදිලිව දැකිය හැකියි,” යනුවෙන් අස්ගිරි ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.  “ඔහුට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම නොවිය යුත්තක්.”

කලක් තිස්සේ පැවති විරෝධය  සංවිධානය කර ගත් එජාප මන්ත්‍රීවරුන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කෙරෙහි විශ්වාසය කඩ වී ඇති බවට 17 බ්‍රහස්පතින්දා පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.

සඳුදා “වැදගත් පුවතක්”

මතබේදයට තුඩු දී ඇති අධිකරණය අමාත්‍ය ධුරය සම්බන්ධව “වැදගත් පුවතක්” එළැඹෙන සඳුදා ලැබෙනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා විශ්වාසය පල කරයි.

“අපේ මන්ත්‍රීවරු සියලු දෙනාම එක මතයක හිටියා කිසිම කෙනෙක් විරුද්ධ මතයක් දැරුවෙ නැහැ,” යි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසානයේ නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය.

“හොරකමට එරෙහි ඉක්මනින් ක්‍රියා කරන්න ඕනේ කියන එක කවුරුත් පිළිගන්න දෙයක් අපි ඉන්නෙ එක මතයක එක්සත් ජතික පක්ෂය ඉන්නේ එක මතයක. ඒ මතය තමයි අල්ලස් හා දුෂණ සම්බන්ධ නඩු සියල්ල ඉක්මන් කළ යුතුයි කියන එක ඒ මතය අද දිනුවා,” යි නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

 

Related posts

Comments are closed.

Top