ෆ‍ෙඩරල් ක්‍රමය රට නොබෙදන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලංකාවේ ෆෙඩරල් පන්නයේ ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් රට බෙදෙන බවට සිංහල ජනතාව අතර පතුරුවා ඇති භීතිය පදනම් විරහිත බව පෙන්වා දෙන තීරණාත්මක නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබේ.

අග්‍ර විනිශ්චයකාරවරයා ප්‍රමුඛ විනිසුරු තුන් කට්ටුවක් විසින් දෙන ලද ඒකමතික නඩු තීන්දුවක් මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි පවතින රාජ්‍යය තුල පෙඩරල් පන්නයේ ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය පෙනී සිටීම බෙදුම්වාදයක් නොවේ.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වය උසුලන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) ශ්‍රී ලංකා භුමිය තුල වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ ඉලක්ක සහ අරමුණු ඇතිව ක්‍රියාත්මක වන බව ප්‍රකාශයට පත් කරන මෙන් කෙරුනු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සමග නඩු තීන්දුව ලබා දී ඇත්තේ උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්ව ඇත්තේ අලුතින් හඳුන්වා දීමට යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව “රට බෙදන පෙඩරල්” එකක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සිංහල දේශපාලන බලවේග සහ අස්ගිරි මහා විහාරය මුල්කොටගත් භික්ෂු සංඝයා වහන්සේ චෝදනා නගමින් සිටියදීය.

‘නොමගයවනසුළු’ ඒකීය සහ ෆෙඩරල්

රාජ්‍යය ඒකීය සහ ෆෙඩරල් යනුවෙන් නාමකරණය ඇතැම්විට නොමග යවන සුළු විය හැකි බව සඳහන් ගගන වෙත ලැබී ඇති පිටු විස්සකින් යුත් තීන්දුව, ඒකීය රාජ්‍යයක් තුල පෙඩරල් අංග මෙන්ම පෙඩරල් රාජ්‍යයක ඒකීය ගුණාංග ද තිබිය හැකි බව ප්‍රකාශ කරයි.

“එමනිසා, හවුල් ස්වාධිපත්‍යය, බලය බෙදා හැරීම සහ විමධ්‍යගත කිරීම ඒකීය රාජ්‍යය ඇතුලත පවත්නා ෆෙඩරල් ආණ්ඩුවකට මගපාදයි,” යනුවෙන් එහි සඳහන් වෙයි. “ITAK පෙනී සිටින්නේ ඒකීය රාජ්‍ය රාමුවක් තුල ප්‍රාන්ත වලට වැඩියෙන් බලය විමධ්‍යගත කෙරුනු පෙඩරල් පන්නයේ ආණ්ඩුවක් වෙනුවෙනි. පවතින රාජ්‍යය තුළ පෙඩරල් පන්නයේ ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදයට පක්ෂපාතී වීමක් නොවේ.”

ITAK පක්ෂය බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා හික්කඩු කෝරාලලාගේ දොන් චන්ද්‍රසේන ගොනු කර තිබූ පෙත්සමින් වගඋත්තරකරුවන් කර තිබුනේ ITAK ලේකම්වරුන් වන මාවයි සේනාධිරාජා හා කේ තුරෙයිරාසසිංහම්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ නීතිපතිවරයායි.

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කිසිදු දෙමළ පක්ෂයක් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කොට නැති බව ඒ සඳහා මහජන මත විමසූ කමිටුවේ ප්‍රධානී අධිනීතිඥ ලාල් විජේනායක මල්වතු මහ නාහිමියන් හමුවේ කියා තිබුනි.

Related posts

Comments are closed.

Top