හිදැස: බැඳුම්කරය, රවි කරුණානායක හා උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා

බැඳුම්කර ප්‍රශ්නය පිළිබඳව කොමිසමේ පරීක්ෂණයන්ගේ නව තතු හා හිටපු විදේශ ඇමති රවි කරුණානායක ඊට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මෙම සතියේ සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද ප්‍රධාන අවධානයක් දිනා තිබිණි. පසුගිය සති දෙක පුරා දින ගණනාවක්ම මෙම ප්‍රශ්නය දමිළ පුවත්පත් තුළ සිරස්තල මැවීමට සමත්ව තිබිණි. තවදුරටත් උතුරේ ක්‍රමයෙන් නැගී එන අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා ‍රැල්ලද මෙම සතියේ ද්විභාෂා පුවත්පත් අවධානය ලබාගැනීමට සමත්ව තිබූ අතර, එම සිදුවීම් වලින් අනතුරුව පොලිසිය මගින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව දමිළ පුවත්පත් මගින් විශාල වශයෙන් වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත් සිංහල පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ ලෙසින්, පළාත් සභා මැතිවරණය කල්දැමීමත් සමගින් ඇතිවූ උණුසුම් විවාද සහ පළාත් සභා මැතිවරණයන්ට වෙනස්කම් ඇති කරනා යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දමිළ පුවත්පත් තුළ එතරම් අවධානයක් ලබාගැනීමට අසමත්ව තිබිණි.

කරුණානායක ඉල්ලා අස්වේ: දූෂණයද විනිවිද භාවයද?

හිටපු විදේශ ඇමති රවි කරුණානායකගේ බැඳුම්කර ප්‍රශ්නයට ඇති සම්බන්ධතාවය සහ ඒ නිසාම ඔහු විසින් ඉල්ලා අස්වීම දමිළ පුවත්පත් තුළ විශාල අවධානයක් දිනාගැනීමට සමත්ව තිබිනි. පොදුවේ දූෂණයට එරෙහි වීමේ අවශ්‍යතාවද මේ හා සමානවම ඉස්මතු කෙරී තිබුණු අතර, රවි කරුණානායකගේ ප්‍රශ්නය දූෂණ වංචා සිදුවීම් අතුරින් එකක් පමණක් බවට වන දමිළ පුවත්පත් දැක්මද එහිදී දක්නට ලැබිණි. පසුගිය රජයේ පාලන කාලය තුල දූෂණය බහුලව ව්‍යාප්ත වූ බවට වන චෝදනා සහ වර්තමානයේ යහපාලන රජයද දූෂණ වංචාවන්ට පිළියම් සෙවීමට සහ වැරදි කරුවන් නීතිය අභිමුඛයට ගෙන ඒමට ප්‍රමාණවත් පියවර නොගන්නා බවට වන අදහසද මෙහිදී ඉස්මතු කොට පෙන්වා දී තිබිණි.

සිංහල පුවත්පත් හා සසඳන විට දමිළ පුවත්පත් රවි කරුණානායක කෙරෙහි වඩාත් නැමියාවකින් කටයුතු කර තිබූ අතර, වරදකරු ලෙසින් සනාථ කිරීමට පෙරාතුව ඉල්ලා අස්වීමට කරුණානායක විසින් ගත් තීරණය අගය කරමින් දෙමළ ජාතික සන්ධාන සහ විපක්ෂ නායක් ආර්.සම්බන්ධන් විසින් පළ කරනු ලැබූ අදහස දමිළ පුවත්පත් තුළ ප්‍රතිරාව දී තිබිණි. කෙසේ වුවත් ඉල්ලා අස්වීමකින් පමණක් රජය තෘප්තිමත් නොවිය යුතු බවත්, බැඳුම්කර ගැටළුව සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා, වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා, දූෂණයට එරෙහිව තිර ආස්ථානයක සිට රජයේ යහපාලන ප්‍රතිපත්තිය පවත්වාගෙන යා යුතු බවත් මෙහිදී අවධාරණය කෙරී තිබිණි.

බැඳුම්කර ගැටළුවේදී කරුණානායකගේ භූමිකාව දමිළ පුවත්පත් තුළ ආකාර දෙකකින් නිරීක්ෂණය වී තිබිණි. එක් අතකින් මෙය යහපාලන රජය තුළ පවා දූෂණය පැතිර ඇති බව දක්වන සාක්ෂියක් ලෙසින් පෙනී ගොස් ඇති අතර, අනෙක් අතට මෙය රජයේ විනිවිදභාවය සහ යහපාලනය පවත්වාගැනීමට ඇති කැපවීම නැවත නැවතත් කියාපාන්නක් ලෙසින් පෙන්වා දී තිබිණි. අවධානයට පාත්‍ර වූ තවත් විකල්ප මතයකින් කියැවුණේ, කරුණානායකගේ ඉල්ලා අස්වීම සැබවින්ම රජයේ හොඳ නම ආරක්ෂා කිරීම සඳහා ගත් පියවරක් ලෙසිනි.

එසේම දමිළ පුවත්පත් තුළ දක්නට ලැබුණු මතය වූයේ, රජය විසින් යහපාලනයක් සම්බන්ධ සිය පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා කරුණානායකගේ ඉල්ලා අස්වීම හෝ බැඳුම්කර ගැටළුව විසඳීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, පෙර රජය යටතේ වූ දූෂණ සම්බන්ධයෙන් පවා රජය කටයුතු කළ යුතු බවත්ය.

කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී

උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා: යුද සමයේ වාර්තාකරණය මතක් කිරීමක් 

උතුරේ නැග එන අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිංහල සහ දමිළ පුවත්පත් මගින් දැක්වූ පුවත්පත් වාර්තා  යුද සමයේ වූ මාධ්‍ය වාර්තාකරණයන් පිළිබඳ මතක නැවත ගෙන ආ අතර, ඒ එකිනෙකාට වෙනස් වූ කාරණා යටතේ බවද නිරීක්ෂණය විණි. බොහෝ ප්‍රධාන ධාරාවේ සිංහල පුවත්පත් මගින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා දැක තිබුණේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් වූ අතර, වඩාත් තර ආරක්ෂක විධිවිධාන ගන්නා ලෙසින් එහිදී ඉල්ලා තිබිණි. දමිළ පුවත්පත් මගින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා, හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය උතුරේ වැඩි වැඩියෙන් දක්නට ලැබීම මෙන්ම පසුව සිදුවූ අත් අඩංගුවට ගැනීම්ද දැක තිබුණේ යුද්ධය උත්සන්න වූ කාලයේ අත්විඳින්නට ලැබුණු ආකාරයේ නිදහසකින් තොර, භීතිය රජයන කාලයක් ලෙසිනි.

උතුරේ වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයින් හවුල් බවට වන අදහස දමිළ පුවත්පත් මගින් සම්පූර්ණයෙන්ම ඉවත දමා තිබිණි. ඒ වෙනුවට ඔවුන් විසින් මෙම ප්‍රචණ්ඩත්වය කාරණා තුනක් වෙත බැර කොට දක්වා තිබිණි. (අ) පොලීසියේ අකර්මණ්‍ය බව සහ රටේ වෙනත් පළාත් වල පාතාල කල්ලි සහ වෙනත් අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නා පොලීසියට උතුරේ නීතිය සහ සාමය ඇතිකරන්නට නොහැකි මන්ද යන්න ප්‍රශ්න කෙරී තිබිණි.  (ආ) එසේම උතුරේ තරුණ පරම්පරා තුළ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සාරධර්ම හා සංස්කෘතික වටිනාකම් පිරිහී ගොස් තිබීමද හේතුවක් ලෙසින් පෙන්වා දී තිබිණි. (ඇ) අවසාන වශයෙන් මෙය සැබවින්ම උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කිරීම ප්‍රමාද කිරීමට සහ උතුරේ හමුදා බලය දිගටම පවත්වා ගැනීමට සහ/හෝ වඩාත් තර කිරීමට යෙදූ උපක්‍රමයක් විය හැකි යැයි පැවසී තිබිණි.

තවදුරටත් දමිළ පුවත්පත් මගින් විශාල වශයෙන් දරා සිටි අදහස වූයේ, උතුරේ වැඩිවන ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වගකිවයුතු ප්‍රධාන වරදකරු ලෙසින් විශ්වාස කෙරෙන ආවා කල්ලිය බිහිවූයේ, උතුරේ දමිළ ප්‍රජාව මැඩපවත්වා තබාගැනීමේ අරමුණ සහිතව,  අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේද කුමන්ත්‍රණ හවුල්කාරීත්වය සමගින්  පෙර රජය සමයේදී බවයි. මෙම ආස්ථානය මගින් වඩාත් පැහැදිලිව චිත්‍රණය කරන්නේ, උතුරේ වැඩි හමුදා බලයක් ‍රැඳවීමේ හෝ ඉහළ පොලිස් අධීක්ෂණයක් පවත්වාගැනීමේ තත්වයක් දක්වා දිවෙන ඕනෑම සිදුවීමක්, ආරක්ෂක අංශයන් මගින් සැලසුම් කර ක්‍රියාත්මක වන්නේය යනුවෙන් නිර්වචනය කරන්නට දමිළ පුවත්පත් මගින් යුහුසුළු වන පුළුල් නැඹුරුතාවයකට බවයි.

 

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි 

Related posts

Comments are closed.

Top