යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට විරුද්ධයි -මහින්ද

යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත පදනම් වී ඇති ප්‍රතිපත්ති එජාපයේ මතවාදයට අනුකූල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයට අනුකූල නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අර්ථසාධක අරමුදල් වලට ගෙවන දායක මුදල් මත බදු අයකිරීමටත්, පුද්ගලයන්ගෙන් වැඩියෙන් බදු අයකර එම ක්ෂේත්‍රයේම සමාගම් වලින් ඊට අඩුවෙන් බදු අයකිරීමටත්, ජීවත්වීමේ අරගලයක නියුතු මධ්‍යම පන්තියේ බදුබර වැඩි කිරීමටත්, ආගමික ස්ථාන වලින් බදු අයකිරීමටත් මෙම නව කෙටුම්පත ඔස්සේ කටයුතු කර ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට එකඟ විය නොහැකි බව පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

එසේම මේ නව පනත දේශීය නිෂ්පාදනයට , දේශීය ව්‍යවසායකයාට , දේශීය නිර්මාණශීලීත්වයට, හා දේශීය ජනතාවට අවාසිදායක වෙන අතර, බහුජාතික සමාගම් හා විදේශිකයන්ට වාසිදායක වන බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්න බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර තිබුණි. වර්තමානයේ බලාත්මක 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත වෙනුවට නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් 2017 අගෝස්තු 25 වන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූයේ වැඩි වශයෙන් එජාප ඡන්ද වලින් වුවත් පාර්ලිමේන්තුවේ සිටින සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තේරී පත්වූයේ තමන් විසින් මෙහෙයවන ලද ඡන්ද ව්‍යාපාරයකින් හා ශ්‍රීලනිප /එජනිස ඡන්ද වලින් බව ආණ්ඩුවේ සිටින සියලුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට මතක් කර දීමට කැමති බව සඳහන් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ හේතුව නිසා මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට එයට එරෙහිව ඡන්දය දීමට සියලුම ශ්‍රීලනිප මැති ඇමතිවරුන් හා මන්ත්රී වරුන්ට යුතුකමක් ඇති බව සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Comments are closed.

Top