රාජිතට එරෙහි විශ්වාස භංගයේ රාජපක්ෂ පාලන කාලය ගැනත් චෝදනා | VIDEO

විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි අමාත්‍ය රාජිත සේනාරත්න ට එරෙහිව මහින්ද රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් ගොනු කර ඇති විශ්වාස භංග යෝජනාවේ පසුගිය පාලන සමයේ සිදුකළ බවට නැගෙන දූෂණ වංචා චෝදනාද ඇතුලත් කර තිබේ.

පසුගිය රජයේ මිනීමැරුම් හා දුෂණ වංචා හෙළිදරව් කර ගැනීමට තමන් දරන උත්සාහයට එරෙහිව නැගෙන විරෝධය රාජපක්ෂ හිතවාදීන්ගේ විශ්වාස භංගයෙන් පිළිබිඹු වෙන බව පවසන රාජිත සේනාරත්න අමාත්‍යවරයා එය තමන් කෙරේ තබා ඇති විශ්වාසය තහවුරු කරගැනීමට ලද අවස්ථාවක් බවට අපේක්ෂාව පළකර සිටියේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ද ඇතුලත් මන්ත්‍රීවරුන් 39 දෙනකු විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව 24 බ්‍රහස්පතින්දා කතානායක වරයාට බාර දෙන ලද විශ්වාස භංග යෝජනාවේ ඇතුලත් චෝදනා 11 කි.

ඒ අතර ඔහු ධීවර අමාත්‍ය ධුරය දැරූ සමයේ ක්‍රියාකාරකම් කිහිපයක්ද වංචනික කටයුතු සහ බලය අයුතු ලෙස යොදා ගැනීමක් ලෙස සඳහන් වෙයි.

රාජපක්ෂ පාලන සමයේ දී මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉතාම අඩු මිළකට පොද්ගලික ආයතනයකට ලබා දීමෙන් රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් සහ වංචාවක් සිදු කර ඇති බවත්,  බ්ලූ ඔෂන් ෆීෂරිස් නම් චීන සමාගමට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී අල්ලස් ගැනීම මෙන්ම බලය අයුතු ලෙස භාවිතා කිරීම ද සිදු කර ඇති බවත් චෝදනා අතර වෙයි.

අධිකරණයට බලපෑම්

ඉල්ලා අස්වන්නට සිදුවූ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දූෂිත දේශපාලකයන් නීතිය හමුවට ගෙන ඒමට පියවර නොගන්නා බවට දැඩි දෝෂ දර්ශනයට ලක් කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයෙන් නගා ඇති එක් චෝදනාවක් වන්නේ “අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සහ තර්ජනය කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීම,” යි.

රාජිත සේනාරත්න ධීවර ඇමැති වශයෙන් කටයුතු කළ කාලයේ ජනාධිපති ධුරය දැරූ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විශ්වාස භංගයට අත්සන් තබා නැත.

 

Related posts

Comments are closed.

Top