පොලිස් වෙඩිල්ලෙන් මළ සිසුවකු වෙනුවෙන් රජයෙන් ගෙවල්: දෙමාපියෝ යුක්තිය ඉල්ලති

දස මසකට ඉහත යාපනයේදී පොලිස් වෙඩි පහරින් මරා දමන ලද උපාධි අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රජය  විසින් නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරද්දී ඔවුන්ගේ දෙමාපියන් දැඩි සේ කියා සිටින්නේ තමන් බලාපොරොත්තු වන්නේ යුක්තිය මිස දේපල නොවන බවයි.

වෙඩි තැබිමෙන් මිය ගිය විජය කුමාර් සුලක්ෂන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකිරීම සඳහා 22 අඟහරුවාදා මුල් ගල් තබන ලද බව ගගන වාර්තාකරු පවසයි.

සුලක්ෂන් සිසුවාගේ පවුලේ උදවියට නැවත පදිංචි කිරිමේ අමාත්‍යංශය ලක්ෂ 5 වටිනාමක් ඇති ඉඩමක් ලබා දී ඇති අතර එහි ලක්ෂ 9 වටිනා නිවසක් ඉදිකෙරෙන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය කියා සිටී.

මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු යුද හමුදා සහාය ඇතිව සිදු කරන බවයි නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් වෙඩි පහරින් මිය ගිය නඩරාසා ගජන්ගේ පවුලේ උදවියට නිවසක් ලබා දෙන බවට අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් පොරොන්දු වී ඇතත් මෙතෙක් එය ඉටු නොවු බවට ඔවුහු චෝදනා කරති.

කෙසේ වෙතත්, මහමග මරා දමනු ලැබූ තම දරුවන් වෙනුවෙන් ඉල්ලා සිටින්නේ යුක්තිය විනා මුදල් හෝ ගෙවල් නොවන බව සිසුන්ගේ පවුලේ සාමාජිකයෝ අවධාරණය කර සිටිති.

පසුගිය ඔක්තෝබරයේ විජයකුමාර් සුලක්ෂන් සහ නඩරාසා ගජන් සරසවි සිසුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා ලබන  උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක ප්‍රමුඛ යාපනය පොලිසියේ සැරයන්වරයකු වන පී.එස් ජයවර්ධන, කොස්‌තාපල්වරුන් වන චන්දන, ලක්මාන්න  සහ පොලිස්‌ රියැදුරු  නවරත්න මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙති.

Related posts

Comments are closed.

Top