ඉඩෝරයෙන් පීඩා විඳින පිරිස දහ අට ලක්ෂය පනී

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති නියඟයෙන් දහ අට ලක්ෂයකට වැඩි ජනකායක් පීඩාවට පත්ව සිටී.

පවතින නියං තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 15 ක පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 500,000 කට ආසන්න වෙතැයි සඳහන් කෙරුණ ද, ඉදිරි කාලයේදී තවදුරටත් වර්ෂාව නොලැබුණහොත් එම පවුල් සංඛ්‍යාව 600,000 ක් දක්වා ඉහල යනු ඇතැයි රජය බිය පල කරයි.

උතුරු පලාතේ එක් ලක්ෂ පනස් හත් දහසකට වැඩි පවුල් සංඛ්‍යාවක පුද්ගලයින් පන් ලක්ෂ හතලිස් අටදහසකට වැඩි පිරිසක් නියං සායෙන් පීඩා විදිද්දී එක් ලක්ෂ හතලිස් හය දහසකට වැඩි පවුල් ගණනක හාරලක්ෂයකට වැඩි පුද්ගලයින් පිරිසක් වයඔ පලාතේ නියඟයට ගොඳුරුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තා පෙන්වා දෙයි.

නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ බව රජය පවසයි.

ආහාර සහ ජලය

රජය පවසන පරිදි එම මුදල් යොදා ගනිමින් පුත්තලම, කුරුණෑගල, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වියළි ආහාර සලාක නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, හම්බන්තොට, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට ද එම වියළි ආහාර සලාක නිකුත් කිරීම කඩිනමින් සිදු කෙරෙන බව එම දිස්ත්‍රික්ක වල ලේකම්වරු පවසති.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරාගත් ගොවි ජනතාව වෙත සමූපකාර සමිති හරහා මෙම වියළි ආහාර සලාකය නිකුත් කරනු ලැබේ.

නියඟයෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම ඇතුළු සෙසු සුබසාධන කටයුතු සඳහා ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය බව රජය නිවේදනය කරයි.

වැසි වැටුනත්

දිස්ත්‍රික්ක කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබුණ ද නියඟ පහව යාම සඳහා එම වර්ෂාව ප‍්‍රමාණවත් නොවන බව අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වාර්තා කර ඇති අතර විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල දිස්ත්‍රික්කයන්හි නියං තත්වය උග‍්‍ර වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා පෙන්වා දෙයි.

අපේක්ෂිත වර්ෂාව නිසි පරිදි නොලැබුණහොත් තවදුරටත් සහන කටයුතු ක්‍රියාත්මක බව රජය නිවේදනය කරන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන සියල්ල ලබාදිමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විට සැලසුම් සකස් කර තිබේ.

මෙම කටයුතුවලදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් ප‍්‍රාදේශීය/ග‍්‍රාමීය මට්ටමේ නිලධාරින් සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටත්, සෑම සතියකට වරක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් ඊට අදාළ ප‍්‍රගති වාර්තා කැඳවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන අතර යුද හමුදාපතිවරයා මගින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ කාර්ය සාධනය පිළිබඳ නිදහස් වාර්තාවක් ලබාගැනීමටද උපදෙස් දී ඇතැයි රජය නිවේදනය කරයි.

ඉඩෝරය නිසා අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා යෙදෙන යල කන්නයේ අස්වැන්න 48% කින් පහත වැටෙන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

Related posts

Comments are closed.

Top