හිදැස: ශිරන්ති රාජපක්ෂ, රවි කරුණානායක, විජයදාස රාජපක්ෂ හා ආර් සම්බන්ධන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ඉදිරිපිටට හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමත්, රවි කරුණානායකගේ ඉල්ලා අස්වීමත් සමගින්ම සිදුවූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මගින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවත්  මෙම සතියේ සිංහල මෙන්ම දමිළ පුවත්පත් තුළද පුළුල්ව ආවරණය කෙරී තිබිණි. මෙම සිදුවීම් ජාතික මට්ටමින් වැදගත් සිදුවීම් දෙකක් වූවත් සැබවින්ම දමිළ ප්‍රජාවට සුවිශේෂී නොවන නිසාවෙන්, දමිළ පුවත්පත් තුළ මේ සඳහා ලැබී තිබුණු අවධානය මෑතකදී දමිළ පුවත්පත් තුළ ක්‍රමිකව සිදුවන්නට පටන් ගත් වෙනසක් බව නිරීක්ෂණය කරන්නට හැකි විණි. අතීතයේදී දමිළ පුවත්පත් වාර්තා තුළ ජාතික වැදගත්කමකින් යුතු ගැටළු විශාල වශයෙන් දක්නට නොලැබුණු අතර, ඔවුන්ගේ අවධානය ප්‍රබල වශයෙන්ම “දමිළ ගැටළු” වෙත එල්ල වී තිබිණි. එසේම මෙම සතියේ දමිළ පුවත්පත් මගින් යෝජිත ජාතික ආර්ථික සභාවට එතරම් අවකාශයක් ලබාදී නොතිබුණු අතර, ඒ වෙනුවට අතුරුදහන් වූවන් සම්බන්ධ ගැටළු, පුද්ගලික ඉඩම් හමුදා පාලනයෙන් මුදාහැරීම වැනි උතුරේ සහ නැගෙනහිර දමිළ ප්‍රජාවට විශේෂිත වූ කරුණු සඳහා රජයේ පාර්ශවයෙන් වූ ප්‍රමාදය සහ මන්දෝත්සාහීත්වය වෙත ඔවුන් සිය විමර්ශනාක්ෂිය එල්ල කොට තිබිණි.

දූෂණයට එරෙහිව රජයේ දැඩි ක්‍රියාමාර්ග නොනවත්වා දිගටම

පැරණි රජයට, විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට එරෙහිව නැඟී තිබුණු චෝදනාවන් සම්බන්ධයෙන් අවසානයේදී හෝ ක්‍රියාත්මක වීමක් ලෙසින් දැකිය හැකි වර්තමාන රජයේ ක්‍රියාකලාපයට ප්‍රශංසා කිරීමට දමිළ පුවත්පත් ඒකමතිකව එක්වී තිබිණි. මෙහිදී දක්නට ලැබුණු එකම පැමිණිල්ල වූයේ මෙම ක්‍රියාපටිපාටිය මන්දගාමී වීම සහ ප්‍රමාද වීම් බහුල වීමයි.

මෙහිදී පාඨකයන් හට නිරන්තරයෙන්ම සිහිපත් කොට දී තිබුණේ, මෙම රජය බලයට පැමිණියේ යහපාලනය සහ රාජපක්ෂ පවුල මගින් කළ බවට චෝදනා නැගෙන දූෂණ සහ අවකල් ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගන්නේය යන පොරොන්දුව මත බවයි. දූෂණ වංචා වලට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම ප්‍රමාද වීම දමිළ පුවත්පත් මගින් විශේෂයෙන්ම දක්වා තිබූ අතර, අවශ්‍ය පරීක්ෂණ සහ නඩු විභාග ඉක්මන් කිරීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් රජයට විවේචන එල්ල කොට තිබිණි. එම නිසා හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂව ප්‍රශ්න කිරීම් සඳහා කැඳවීම බොහෝ කොට දමිළ පුවත්පත් මගින් දැක තිබුණේ රජයේ පසින් කාලයකට පෙරාතුව ගත යුතුව තිබූ පියවරක් ලෙසින් වූ අතර, එයට ප්‍රශංසාවක් හිමිව නොතිබුණි. එසේ වුවත් මෙය රජය විසින් නිවැරදි මාර්ගයේ තැබූ පියවරක් ලෙසින් දැක තිබුණු බවද කිව යුතුවේ.

කෙසේ වුවත් රජයේ පුවත්පතක් වන තිනකරන් මෙහිදී මඳක් වෙනස් දෘෂ්ටිකෝණයක් හරහා සිදුවීම දු‍ටු බව නිරීක්ෂණය විණි. තිනකරන් මගින් රාජපක්ෂවරුන්ට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක වන්නේය යන කරුණ ඉස්මතු කොට දක්වා තිබූ අතර, එහිදී සිදුවූ ප්‍රමාදයන්ට අවධාරණයක් ලබාදී නොතිබුණි. තවදුරටත් හිටපු ජනපති ආර්යාව ප්‍රශ්න කිරීමට කැඳවීමට විරෝධය පළ කිරීම සඳහා ‍රැස්ව සිටි ජනකාය විවේචනය කිරීමටද තිනකරන් කටයුතු කර තිබුණි. මේ සඳහාම විශේෂයෙන් බස් රථ වලින් ජනතාව එතැනට ගෙනැවිත් තිබූ බව දමිළ පුවත්පත් මගින් දැක්වූ අතර, මෙම ගැටළුවේදී රාජපක්ෂවරුන් හට සැලකිය යුතු තරමේ සැබෑ සහායක්ද ලැබී තිබුණේය යන කරුණ මෙහිදී අමතක කර දමා තිබිණි.

විජයදාස රාජපක්ෂට එරෙහි විශ්වාස භංගය: එජාපයේ ක්‍රියාව සාධාරණද?

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව එජාපය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ එකිනෙකට වෙනස් දෘෂ්ටීන් දෙකක් දක්නට ලැබිණි.

මෙහි මුල්ම සහ වඩාත් ආධිපත්‍යය දරා සිටි දෘෂ්ටියෙන් කියැවුණේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට එජාපය කටයුතු කිරීම නිවැරදි බවයි. මෙහිදී දක්වා තිබූ ප්‍රධාන කරුණ වූයේ විජයදාස රාජපක්ෂ විසින් පැරණි රජයේ සාමාජිකයන් – විශේෂයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ පවුල – දූෂණ චෝදනාවන්ගෙන් ආරක්ෂා කිරීම සහ අධිකරණ අමාත්‍යවරයා විසින් හම්බන්තොට වරාය ගනුදෙනුව විවේචනය කිරීම වුවත්, දමිළ පුවත්පත් තුළ රාජපක්ෂට එරෙහිව ඔවුන්ගේම මැසිවිලිද දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා තුළ දෙවැනියට පුළුල්ව දක්නට ලැබුණු ස්ථාවරය මගින් අවධාරනය යොමුකොට තිබුණේ රාජපක්ෂ වෙත වූ අතර, සිංහල-ජාතිකවාදී දේශපාලනය සම්බන්ධයෙන් විවේචනාත්මක වී තිබිණි. දමිළ දේශපාලන සිරකරුවන් “කොටින්” ලෙස හැඳින්වීමෙන් සහ ත්‍රිවිධ හමුදා මගින් සිදුකරන්නට යෙදුණු බවට චෝදනා එල්ල වන යුද අපරාධ සඳහා පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය නිශ්ප්‍රභ කිරීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ වෙත අතීතයේදීද දමිළ පුවත්පත් උදහස එල්ල වී තිබිණි. වර්තමානයේදී තිනකුරල් පුවත්පත, විජයදාස රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂගේ ‘සෙවණැලි රජයේ’ සාමාජිකයෙක්ය යනුවෙන් හැඳින්වීම දක්වා දුරදිග ගොස් තිබිණි.

තවදුරටත් විජයදාස රාජපක්ෂ විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් දැරූ මත හා තම අදහස් සමපාත කිරීමට නැඹුරුතාවක් දක්වන බවද දමිළ පුවත්පත් මගින් කියා සිටි අතර, එය ජාත්‍යන්තර ප්‍රජාව තුළ රජයට එතරම් හිතකර නොවන බවද ප්‍රකාශ විණි. කෙසේ වුවත් විජයදාස රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂගේ සිංහල-බෞද්ධ ස්ථාවරය නිශ්ඵල එකක් බවට පත් කිරීමට සහ බෞද්ධ භික්ෂූන්ගේ සහාය දිනාගැනීමට හැකි, එනිසාම රට තුළ දේශපාලනයේදී රජයට සම්පතක් බවද කියා සිටි සිංහල පුවත්පත් ස්ථාවරයෙන් උක්ත දමිළ පුවත්පත් ස්ථාවරය වෙනස් වූ බව දක්නට ලැබිණි. මෙසේ සිංහල පුවත්පත් තුළ එක් කොටසක් විජයදාස රාජපක්ෂ බෞද්ධාගම ආරක්ෂා කරනා සිංහල-බෞද්ධ නායකයෙකු ලෙසින් බුහුමනින් යුතුව පෙන්වා දුන් අතර, දමිළ පුවත්පත් විසින් ඔහුව සිංහල-බෞද්ධ ජාතිකවාදියකු සහ ජාතිවාදියකු ලෙසින් පිළිකෙව් කොට තිබිණි.

කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී

නිරර්ථක ප්‍රමාදය

අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධ ගැටළු, දමිළ දේශපාලන සිරකරුවන්, මිලිටරි පාලනය යටතේ තවමත් ඇති පෞද්ගලික ඉඩම් සහ ත්‍රිවිධ හමුදා මගින් සිදුකළා යැයි කියනා යුද අපරාධ වැනි දමිළ ජනතාවගේ -විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර වෙසෙනා දමිළ ජනතාවගේ- දුක්ගැනවිලි සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් රජයට එල්ල වන විවේචන වැඩිවී තිබෙනු නිරීක්ෂණය විණි.

මෙහිදී දමිළ පුවත්පත් තුළ වූ ස්වරය අපේක්ෂා භංගත්වය සහ ක්‍රමයෙන් වැඩිවන අසන්‍තෝෂය මිශ්‍ර එකක් වූ අතර, තමන්ගේ දුක්ගැහැට සම්බන්ධයෙන් නිසි පියවරක් නොගැනෙනු ඇති බවට දමිළ ප්‍රජාව තුළ වන බලාපොරොත්තු කඩවීම ඒ තුළින් පරාවර්තනය විණි. දමිළ පුවත්පත් මගින්, වත්මන් රජය දමිළ ප්‍රජාව මුහුණ දෙන ගැටළු කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම යන කරුණ සමගින් ගත් විට එය පෙර රාජපක්ෂ රජයටම සමාන කිරීම තුළින් වත්මන් රජය කෙරෙහි ඔවුන් තුළ නැග එන අවිශ්වාසය පෙනී යයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් සම්බන්ධයෙන් චෝදනා නැගී තිබිණි.

(අ) සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයන් පිහි‍ටුවීමේ ප්‍රමාදය කෙරෙහි රජයට චෝදනා එල්ල වී තිබිණි. මෙහිදී දමිළ පුවත්පත් දරා සිටි මතය වූයේ රජය දමිළ ප්‍රජාව රවටමින්, සිදුවෙමින් පවත්නා ව්‍යවස්ථා සංශෝධන හෝ දූෂණ වංචා සම්බන්ධ ගැටළු වැනි නිදහසට කරුණු පසුපස සැඟවෙමින් හුදු කාලය ලබාගැනීමක් සිදුකරනා බවයි. එනිසා රජය උතුරේ සහ නැගෙනහිර දමිළ ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමේ සැබෑ දේශපාලන වුවමනාවකින් තොර වීම සම්බන්ධව චෝදනා ලබා  තිබිණි.

(ආ) දමිළ ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් හඬ අවදි නොකිරීම සහ තමන් අතරම අර්බුදයන් ඇතිකරගැනීම සම්බන්ධයෙන් දමිළ දේශපාලන නායකත්වයට දැඩි විවේචන එල්ල වී තිබිණි. මෙහිදී වීරකේසරී මගින් විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය තුළ වන විශාලතම පක්ෂය වූ ඉලංගෛ තමිල් අරසු කච්චි වෙත දෝෂාරෝපණය කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානය තුළ වූ අනෙකුත් පක්ෂ දක්වන අදහස් වලට සවන් නොදීම සම්බන්ධයෙනි.

දමිළ ප්‍රජාව විසින් මුහුණ දෙන ගැටළු සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජයට බල කරනා ලෙසට මෑතකදී විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් විසින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන් වීරකේසරී පුවත්පත දෘෂ්ටීන් දෙකක් දක්වා තිබිණි. පළමු අදහස තුළින් රජයේ පාර්ශවයෙන් දක්නට ලැබෙන ප්‍රමාදයන් සහ අක්‍රියාකාරීත්වය පිළිබඳව දමිළ ප්‍රජාවට දැනෙනා ඉච්ඡා භංගත්වය පිළිබිඹු වී තිබූ අතර, අනෙක් අදහස තුළින්, ජාත්‍යන්තර පීඩනයෙන් රජය ආරක්ෂා කිරීමට ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂය ක්‍රියා කිරීමෙන් පසුව දැන් සම්බන්ධන් විසින් ජාත්‍යන්තර ප්‍රජාවේම සහාය ඉල්ලා සිටීමේ ඇති සැකසහිත බව ප්‍රකාශ වී තිබිණි.

 

වෙරිටේ ප්‍රකාශනයකි 

Related posts

Comments are closed.

Top