ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් -ඇමති සාගල

ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව නීතිය සහ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි. එල් .ටී. ටී. ඊ සංවිධානය විසින් කාලයක් මුළුල්ලේ කරනු ලැබූ ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙසින් මෙම තත්ත්වය උදාවී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය සාගල රත්නායක මේ බව ප්‍රකාශ කළේ 2017 ඉන්දීය සාගර සමුළුවට පෙර අරලියගහ මන්දිරයේදී අඟහරුවාදා (29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

2017 ඉන්දීය සාගර සමුළුව අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වෙනිදා දක්වා අරලියගහ මන්දිරයේදි පැවැත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ දේශ සීමාවන් මත්ද්‍රවය සහ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතුළුවීමෙන් වලකා ලීමේ වැදගත්කම පිළිවඳව අමාත්‍ය සාගල රත්නායක සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන වෙත මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමු කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය රටට ඇතුල්වීම වැළැක්වීම ඉතාමත් වැදගත් අංගයක් වන බව පැවසූ සාගල රත්නායක අමාත්‍යවරයා 2017 ඉන්දීය සාගර සම්මන්ත්‍රණයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලබන බව පැවසීය. ගෝලීය වශයෙන් වැදගත් වන ස්ථානයක ශ්‍රීලංකාව පිහිටා තිබීම හේතුවෙන් බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ ප්‍රවාහකයන්ගේ අන්තර් හුවමාරු ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කරගෙන ඇති බවද හෙතෙම අනාවරණය කළේය .

ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුව – 2017 සඳහා රටවල් 40 ක උගතුන් බුද්ධිමතුන්ගෙන් සමන්විත දේශීය හා විදේශීය නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහභාගිවන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල් රැසක් මෙයට දායකත්වය දක්වයි. “ඉන්දිය සාගර කලාපයේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍යය” යන තේමාව යටතේ මෙම සමුළුව පැවත්වීමට නියමිතයි.

සමුළුවට ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ්, එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් හා ශ්‍රී ලංකා විදේශ ඇමැති ජනාධිපති නීතීඥ තිලක් මාරපන නීතීය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් ද සහභාගි වනු ඇති.

ඉන්දීය පදනම් සංවිධානය මගින් පවත්වනු ලබන මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය පූර්ණ අනුග්‍රහය දක්වයි

Related posts

Comments are closed.

Top