අතුරුදහන් වූවන් සොයා ගැනීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි| VIDEO

 

අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය සමරමින් උතුරේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුවෝ තමන් විසින් බලයට පත්කරන ලද රජයෙන් නොලද යුක්තිය සඳහා ජාත්‍යන්තර පරික්ෂණයක් පවත්වන ලෙසට බල කර සිටි අතර රජය තුල සිටින ඇතැමුන් සාධාරණය වෙනුවෙන් සටන් වදිනු ඇති බවට කොළඹ කේන්ද්‍ර කොටගත් මානව හිමිකම් සංවිධානයක් විශ්වාසය පල කරයි.

අතුරුදහන් වුවන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කර යුක්තිය ඉටු කර වැරදි කරුවන්ට දඬුවම් දෙන තුරු තම සටන අත් නොහරින බවයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

අවසන් යුද සමයේ හමුදාවට බාර දුන් තම හිතවතුන්ට සිදු වු දේ සහ සුදු වෑන් වලින් පැහැරගත් පිරිස් වලට සිදු වුයේ කුමක්ද යන්න හෙළි කරන ලෙස මෙම විරෝධතා වලට සහභාගි වූවන් බල කර සිටි බව ගගන වාර්තාකරුවෝ පවසති.

අතුරුදහන් වුවන් සමරා කොළඹ ද සමරුවක් සිදු වු අතර යහපාලන රජය විසින් ලබා දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට අයිතියක් ඇති බැවින් අයිතීන් දිනා ගැනිමේ උත්සාහය ආණ්ඩුවට පාවා නොදී කටයුතු කළ යුතු බව අතුරුදහන් වුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රීයාධර‍යකු කියා සිටියේය.

 

තවමත් විශ්වාසයි

තවමත් වත්මන් ආණ්ඩුවෙන් අයිතීන් උදුරා ගැනිමට සටන් වදිමින් සිටින අතරම එදා සිටිම සටනේ සිටි අමාත්‍ය මනෝ ගනේෂන්, විපක්ෂ නායක ආර්.සම්පන්දන් සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා වැනි දේශපාලකයන් අතනොහැර සහය දෙනු ඇති බවට අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු විශ්වාසය පල කරයි.

කුමන වෙනස් කම් සහ විවාද තිබුණද උතුර දකුණ හා සිංහල දෙමළ ජාති බේදයකින් තොරව අතුරුදහන් වීම් හේතුවෙන් විපතට පත් සැම එකතුව දුන් පොරොන්දු ඉටු කිරිමට ආණ්ඩුවට බල කල යුතු බව 30 බදාදා බලහත්කාර අතුරුදහන් කරවිම් වලට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් කොළඹ පැවති සැමරුමකදී ඔහු කියා සිටියේය.

අතුරුදහන් වුවන් පිළිබද කාර්යාලය ස්ථාපිත කරන ලෙස බල කරමින් මෙම සමරුව පැවැත්වු අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු විදේශ නියෝජිතයන් සහ දේශපාලකයන් කිහිප දෙනෙක් ද ඊට සහභාගි වූහ.

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා අවුරුද්දක් ගතවීත් අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය (OMP) ක්‍රියාත්මක නොකිරීම ඥාතීන් ගේත්, දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වලත් බරපතල දෝෂ දර්ශනයට හේතුවී තිබේ.

Related posts

Comments are closed.

Top