ජනපතිගේ ‘රණවිරුවන්ට අත නොතබනු’ ප්‍රකාශය ගැන ෆොන්සේකා පැහැදිලි කරයි| VIDEO

වැරදි කළ හමුදා නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක නොකරන බවක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

රටින් පිටත කිසිවකුට හමුදා නිලධාරින් හට අත තියන්නට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළද වැරදි කළවුන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වීම නවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළ බවයි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන්නේ.

ජගත් ජයසූරිය හෝ මේ රටේ කිසිදු හමුදාපතිවරයකුට, රණවිරුවකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව මෙන්ම හිටපු හමුදාපතිවරයාට නඩු පවරනු ලැබීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව එය මුහුදින් එතෙර ප්‍රශ්නයක් ලෙස ජනාධිපතිවරයා කැම්බල් පිටියේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහය වෙනි සංවත්සරය අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත්, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා නැවත කියා සිටින්නේ ඔහුගෙන් පසු හමුදාපති ධුරය ඉසිලූ ජෙනරාල් ජගත් ජයසූරිය ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

දෙලක්ෂයෙන් විස්සක් තිහක්

ලක්ෂ දෙකක් පමණ වන ශ්‍රී ලංකා හමුදාවේ අපකීර්තිමත් වැඩ කළ “විස්සක් තිහක්” සිටින බව කී ඇමැති වරයා ඉන් එක් පුද්ගලයකු පමණක් වන ජගත් ජයසුරිය ඇතුලු සියලු දෙනාට දඬුවම් කළ යුතු බව අවධාරණය කර සිටියේ 6 බදාදා පැවති එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් අමතමිනි.

ඉහළ නිලධාරින් නොව හිටපු හමුදාපති ජගත් ජයසුරියගේ අධිසහායක වැනි සමීපතයන් කණ්ඩායමක් අපරාධ සඳහා සහභාගි වු බවටයි අමාත්‍ය සරත් ෆොන්සේකා අනාවරණය කර සිටියේ.

‍යුද්ධයේදී අපරාධ කළ බවට චෝදනා එල්ල වී ඇති ජගත් ජයසුරිය හමුදාපති ධුරය හොබවන සමයේදී සිදු වු වැලිකඩ රැඳවියන් සමුල ඝාතනට සහ රතුපස්වල විරෝධතාකරුවන්ට වෙඩි තැබීම ඔහුගේ අණ යටතේ සිදු වු බව ද අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

රජයේ ස්ථාවරය දක්වන්න

මේ අතර, හිටපු හමුදාපති ජගත් ජයසූරිය ට එරෙහිව යුද අපරාධ චෝදනා නගා දකුණු ඇමරිකා රටවල ගොනුකර ඇති නඩු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දක්වන ලෙස ඉල්ලා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නගා තිබේ.

“ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් කර ඇති ප්‍රකාශ මගින් වර්තමාන රජයේ ප්‍රතිපත්තිය පිළිබිඹු වන්නේදැ,” යි විදේශ අමාත්‍ය තිලක් මාරපන ගේ පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කර ඇති ප්‍රශ්නයෙන් විමසා ඇත.

“එසේ නොවේ නම්, මෙය සහ ආණ්ඩුවේ සාමාජිකයන් හෝ ඉහල පදවි දරන ආධාරකරුවන් විසින් රටේ වීරෝධාර සේනා ඉදිරියේදී පාවා දීමට එරෙහිව ගන්නට බලාපොරොත්තු වන පියවර මොනවාද?” යනුවෙන්ද මඑපෙ නායකයා ප්‍රශ්න කරයි.

Related posts

Comments are closed.

Top