රෝහින්ග්‍යා වරුන් හමුවට යාමට එක්සත් ජනපදය අවසර ඉල්ලයි

 

සිය ගණනකට මාරු කැඳවමින් ලක්ෂ එකහමාරකට අධික ජනකායකට උන්හිටි තැන අහිමි කළ රෝහින්ග්‍යා අර්බුදය පිළිබඳ දැඩි කනස්සල්ල පල කරන ඇමරිකා එක්සත් ජනපදය, රඛයින් ප්‍රාන්තය ආරක්ෂා කිරීම උදෙසා මානුෂීය ආධාර ලබාදීමට  ඉඩ සලසන මෙන් මියන්මාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක හෙදර් නවර්ට් මේ බව පවසා ඇත්තේ 7 බ්‍රහස්පතින්දා ය.

“මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම ආයුධ සන්නද්ධ සාමාන්‍ය වැසියන්ට ද චෝදනා නැගෙන රෝහින්ග්‍යා ගම්මාන ගිනිබත් කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම නිසා සාමාන්‍ය ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් අවතැන් වී සිටිනවා,” යනුවෙන් ඇය පවසා තිබේ.

මිට සති දෙකකට පෙර ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර ආරම්භ වුණු ගැටුම් නිසා රෝහින්ග්‍යා වැසියන් තුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බංග්ලාදේශය වෙත පලා ගොස් ඇති බව එක්සත් ජාතීන් පවසයි.

බුරුම හමුදා විසින් මෙම ජනයාගේ ගම්මාන ගිනිබත් කරන අතර දේශ සිමා තරණය කරන වැසියන් වෙඩි තබා සහ බිම් බෝම්බ ඇටවීම මඟින් මරා දමන බවට රෝහින්ග්‍යා විෂන් සේවය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් මියන්මාර රජය පවසන්නේ සිය හමුදාවන්ට සිදු කෙරෙන චෝදනා අසත්‍ය බවත් කැරලිකරුවන් සහ මුස්ලිම් ජනතාව සිය ගම්මාන ඔවුන් විසින්ම ගිනි තබන බවත් ය.

 

 

ගම්මාන ගිනිබත් කරයි

රඛයින් හි වෙසෙන බෞද්ධ යැයි විශ්වාස කළ හැකි පිරිසක් විසින් මුස්ලිම් ගම්මානයක් ගිනි තබන අයුරු සියැසින් දුටු බව මියන්මාර රජයේ ආරාධනාව මත මොන්ග්දෝ හි සංචාරයේ යෙදුනු ජ්‍යෙෂ්ඨ BBC වාර්තාකරුවකු ප්‍රකාශ කර තිබේ.

BBC යේ ගිනිකොන ආසියානු වාර්තාකාර ජොනතන් හෙඩ් පවසන්නේ රජය තෝරා ගත් ප්‍රදේශ වලට පමණක් තමන් ඇතුළු මාධ්‍යවේදීන් රැගෙන ගිය අතර අනෙකුත් ස්ථාන කරා යාමට ඉල්ලීමක් කළ ද අනාරක්ෂිත බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කළ බව යි.

“අපි එන අතරතුර ගස් අතරින් විශාල වශයෙන් අහසට දුම් පිටවන ස්ථානයක් දැක්කා. ගමක් යැයි සිතිය හැකි ස්ථානයක්. අපි කුඹුරු හරහා එතනට දිව ගියා. එම ගම්මානයේ පළමු ගොඩනැගිලි කිහිපය පමණක් ගිනිබත් වන සැටි අප දුටුවා. එහි තිබු නිවෙස් සියල්ල විනාඩි 20 ක් 30 ක් අතර කාලය තුල අළු බවට පත්වුණා. ගිනි තැබීම ඒ අවස්ථාවේදීම සිදුව ඇති බවට පැහැදිලියි.

අපි ඇතුලට ඇවිදගෙන යන විට කඩු මන්නා රැගත් තරුණ හැඩි දැඩි පුරුෂයන් කිහිප දෙනෙක් පිටතට පැමිණියා.

අපි ප්‍රශ්න කරන්නට උත්සාහ කළත් ඔවුන් රූපගත කිරීම් හමුවේ එය ප්‍රතික්ෂේප කළා. කොහොම නමුත් මගේ මියන්මාර සගයෙක් කැමරා නොමැතිව ඔවුන් සමග කතා බහ කළා. එවිට ඔවුන් පැවසුවේ තමන් රඛයින් බෞද්ධයන් බවයි. ඉන් එක් කෙනෙක් පැවසුවා ගිනි තැබුවේ තමන් කියා. ඒ වගේම පොලිසියේ උපකාර ඔවුන්ට තිබෙන බවත් පැවසුවා.”

 

 

සුචිට ලිපියක්

රඛයින් ප්‍රාන්තයේ සිටින සියල්ලෝම සිය රජය විසින් ආරක්ෂා කරන බව මියන්මාර පාලක පක්ෂ නායිකා අවුන් සාන් සුචි පවසන්නීය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අවධානයට ලක්වුණු මෙම අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් නොබෙල් සාම ත්‍යාග ලාභිනිය කටයුතු කරන ආකාරය බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වී තිබේ.

සිය රටෙහි වෙසෙන සියලුම ජනතාවට පිළිගැනීමක්, වටිනාකමක් ලබාදීමට ගෞරවය ආරක්ෂා කිරීමට නොහැකි සාමකාමී නොවන රටක් නම් එය නිදහස් දේශයක් නොවන බව දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියකු වන නොබෙල් සම්මානලාභී අගරදගුරු ඩෙස්මන් ටුටූ ඇය වෙත විවෘත ලිපියක් ලියමින් ප්‍රකාශ කර ඇත.

“අප ඉදිරියේ දිග හැරෙන කෘරත්වය දකින විට, ධෛර්යවන්තව හා ප්‍රබල වීමට හැකිවන ලෙසට අයදිමු,” යනුවෙන් ඔහු ලියු ලිපියෙහි සඳහන්ව තිබේ. “ඔබේ ජනතාවගේ යුක්තිය, මානව අයිතිවාසිකම් සහ එක්සත්භාවය වෙනුවෙන් කතා කරන ලෙසට අයදිමු. උග්‍ර වන අර්බුදයට මැදිහත් වී නැවතත් ඔබේ ජනයා ධර්මිෂ්ට මාර්ගයක් කරා මෙහෙයවන ලෙසට අයදිමු.”

රඛයින් ප්‍රාන්තවාසී රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ට එරෙහිව දියත්වන ප්‍රචණ්ඩත්වය වැලක්වීමට මැදිහත් නොවීම සම්බන්ධයෙන් අවුන් සාන් සුචී දෝෂ දර්ශනයට ලක් කළ නොබෙල් සම්මාන ලාභී දෙවැන්නා අගරදගුරු ටුටූ ය.

රෝහින්ග්‍යා වැසියන් සිය ගණනක් ජිවිතක්ෂයට පත්කළ “නින්දාසහගත ඛේදජනක” ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දැකීමට කටයුතු කරන ලෙස නොබෙල් සාම ත්‍යාග ලාභී මලාලා යුසුෆායි මීට ඉහතදී බුරුම නායිකාවගෙන් ඉල්ලා තිබුණාය.

Related posts

Comments are closed.

Top