වැලිකඩ සමූහ ඝාතනය ගැන ආණ්ඩුවෙන් ගෝඨාභයට චෝදනා | VIDEO

පස් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරය තුල සිරකරුවන් ඝාතනය කිරිම පිලබඳව හිටපු ආරක්ෂක ලේකම් වග කිව යුතු බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් චෝදනා කරයි.

සිරගෙදරට කඩා වැදී 2012 වර්ෂයේදී සිරකරුවන් 27ක්  ඝාතනය කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ අණ දීම මත බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ සිරකරු දිනය නිමිත්තෙන් 12 අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති විරෝධතාවයකට එක්වෙමිනි.

වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදුන ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳවියන් තෝරමින් ඝාතනය කරන ලද බවට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මෙහිදී චෝදනා කළේය.

පස් වසරක් තිස්සේ ඝාතනය වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන බව කී කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ඝාතනය කරන ලද රැඳවියන්ට සාධාරණය ඉටු කරන තෙක් සටන් වදින බව ඔහු අවධාරණ කර සිටී.

වැලිකඩ 2012 ඝාතන ගැන විමර්ශන වාර්තාව විශ්‍රාම ලත් විනිසුරු නිමල් නම්බුවසම් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජුනියේය.

මේ තාක් ඒ වාර්තාව ප්‍රසිද්ධියට පත් කර නැත. ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන ද නැත.

හෙංචයියන්ට නිදහස

බන්ධානාගාර රැඳවියන්ට ලැබිය යුතු කිසිඳු වරප්‍රසාදයක් රැඳවියන්ට නොලැබෙන බවයි බන්ධනාගාර රැඳැවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසන්නේ.

පසුගිය රජය සමයේ මහින්ද රාජපක්ෂලාගේ ‘හෙංචයියන්’ බන්ධනාගාර ආඥා පනත යොදා ගනිමින් නිදහස් කළ බවද ඔහු විසින් අනාවරණය කරන ලදී.

මේ අතර වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් පිරිසක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග පනවන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් සළකා බැලීම අභියාචනාධිකරණය කල් දමා තිබේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනි සිටින නීතීඥවරයා අද දින පෙනී නොසිටි අතර ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් කල ඉල්ලීමකට අනුව මෙසේ පෙත්සම සලකා බැලීම කල් දමා ඇත.

වැලිකඩ හිරගෙදර සමුහඝාතනය සියැසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවකු වන බන්ධනාගාර රැඳැවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් ගේ නිවසට සතියකට ඉහතදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් මේතාක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත.

එය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැකගැනීම සඳහා ගෙනයන්නා වූ සැලසුම් සහගත වැඩ පිළිවෙලක කොටසක් බව සුදේශ් නන්දිමාල් පවසයි.

සිරකරුවන්ගේ අයිතිවාසිකම්  තහවුරු කරන ලෙස රජයට බලකෙරෙන  මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීමත් උද්ඝෝෂණය සමග ආරම්භ කරන ලදී.

Related posts

Comments are closed.

Top