අතුරුදහන් කාර්යාලය 15 සිට ජනාධිපති යටතේ ක්‍රියාත්මකයි

 

ජාත්‍යන්තර හා දේශීය  නීති විශාරදයන් ගේ අනතුරු ඇඟවීම් නොතකා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සැප්තැම්බර් 15 දා සිට ජාතික ඒකාග්‍රතා සහ සංහිඳියා අමාත්‍ය ධුරය හොබවන තමන් යටතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

වසරකටත් වැඩි කලකට ඉහතදී පාර්ලිමේන්තු සම්මතයෙන් නීති ගත කරන ලද OMP කාර්යාලය වහාම ක්‍රියාත්මක කරන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා ජිනීවා නුවරදී ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි දා ජනාධිපතිවරයා ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත.

වෙනම අමාත්‍යවරයකු පත් නොකර ජනාධිපති වරයාම OMP කාර්යාලය බාරගැනීම ව්‍යවස්ථා විරෝධී පියවරක් ලෙසින් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කමිටුවේ (ICJ) දෝෂ දර්ශනයට ලක්වී තිබුනි.

ජනාධිපති බලතල කප්පාදු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පවරාගත නොහැකි බලතල තමන් සතු කරගැනීමෙන් ජනාධිපති වරයා කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දී තිබුනි.

හය මාසයකට වැඩි කලක් අඛණ්ඩ විරෝධතාවක යෙදී සිටි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ජනපති හමුවී සතියකට පසු OMP කාර්යාලයට අනුමැතිය ලැබුනු බව ජාතික ඒකාග්‍රතා සහ සංහිඳියා අමාත්‍යාංශය පවසයි.

“OMP කාර්යාලය පිහිටුවීම ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව සංහිඳියා මාවතේ තැබූ වැදගත් ඉදිරි පියවරක්,” ලෙස අමාත්‍යාංශ ලේකම් වී සිවඥානසෝති විසින් හඳුන්වා දී තිබේ.

OMP කාර්යාලය ක්‍රියාත්මක වන දිනට පසුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම පිණිස නිව්යෝක් බලා පිටත් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

Comments are closed.

Top