“වධහිංසාව නවත්වන්න” යුරෝපා සංගමය කොළඹදී අගමැතිට කියයි

තමන් සමග ‘විශිෂ්ඨ සහයෝගිතාවකින් යුතුව කටයුතු කරන’ ශ්‍රී ලංකාවේ තවමත් සිදු කෙරෙන වධහිංසා නවත්වන මෙන් යුරෝපා සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

යුරෝපා සංගමය නැවත වතාවක් කොළඹදී එම ඉල්ලීම කර ඇත්තේ පසුගිය පාලනය යටතේ සිදුකෙරුනු මානව හිමිකම් උල්ලංඝන නිසා හත් අවුරුද්දක් අත්හිටුවා තිබු වරණීය බදු සහන (GSP+) ආපසු දීමෙන් පසු ශ්‍රී ලංකාව අත් කොටගෙන තිබෙන ප්‍රගතිය නිරීක්ෂණය පිණිස ඉහල මට්ටමේ නියෝජිත පිරිසක් කළ දස දින සංචාරයක් අවසානයේ දීය.

මානව හිමිකම් ක්ෂේත්‍රයේත්,  කම්කරු හා පාරිසරික තලයේත් ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ප්‍රශංසා කර ඇති යුරෝපා සංගමය, එසේ වෙතත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගණනාවක්ම සිදුකර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ නියෝජිතයන් හමුවේ අවධාරණය කර තිබේ.

“වධහිංසාව නැවැත්විය යුතුය,” යි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුං ලායි මාර්ග් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. “ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට  ජාත්‍යන්තර ප්‍රමිතියට ගැලපෙන ත්‍රස්ත විරෝධී නීති සකස් කොට අත් අඩංගුවට ගනු ලබන අවස්ථාවේ සිට සිරගත කොට සිටිනවුන්ට නීතිඥයකු හමුවීමට ඉඩ සලසා දිය යුතුය.”

රජයේ නියෝජිතයන්ට අමතරව, සිවිල් සමාජයේත්, වෘත්තීය සමිති හා ජාත්‍යන්තර සංවිධාන වලත් නියෝජිතයන් මෙන්ම යුරෝපා දූත මණ්ඩලය කිලිනොච්චියේ අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ද හමු විය.

“යුද්ධාවසානයේ අතුරුදහන් වුවන්ගේ ඉරණම පැහැදිලි කර දීමද, ඉඩම් කඩිනමින් ආපසු භාරදීමද, ජාතික සංහිඳියාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම උතුරේත් නැගෙනහිරේත්, විශ්වාසය නැවත ගොඩනැගීමට හේතු කාරක වනු ඇතැ,” යි යුරෝපා තානාපති වරයා අගමැතිවරයාට පවසා තිබේ.

කාන්තාවන්ට හා දැරියන්ට එරෙහිවත්, සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්තිලිංගික ජනතාවට එරෙහිව දිගටම කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන්ද යුරෝපා සංගමය සිය අවධානය යොමුකර තිබේ.

ලෝකයේ ලොකුම වෙළෙඳපල වන යුරෝපයට සහනශීලී බදු ක්‍රමය ඔස්සේ  දිගටම ඇතුල් වී සිටීමට නම් ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති නොනැවතී ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද විදේශීය දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අවධාරණය කළ බව 13 බදාදා කොළඹින් නිකුත් කළ නිවේදනයකින් පවසයි.

GSP+ තහංචිය ඉවත් කරමින් යුරෝපා සංගමය මාස හතරකට ඉහතදී කියා සිටියේත් වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් වධ හිංසා පැමිණවීම් සිදුවන බවයි.

වර්තමාන පාලනය යටතේ ශ්‍රී ලංකාව ආරක්ෂක අංශ විසින් වධහිංසා පමුණුවන බව දෙමළ ජනතාව ලබා දුන් විස්තර ඇසුරින්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් කිහිප වර රජයේත්, ජාත්‍යන්තර බලවතුන්ගේත් අවධානයට යොමු කර තිබේ.

රජයේ ආරක්ෂක අංශ විසින් ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධහිංසා නිරන්තරයෙන් පමුණුවන බව මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ආණ්ඩුව විසින් පිළිගෙන තිබේ.

යුරෝපා නියෝජිත පිරිස ශ්‍රී ලංකාවෙන් එක්රැස් කරගත් තොරතුරු යුරෝපා පාර්ලිමේන්තුවේ සමාලෝචනය පිණිස ලබන ජනවාරියේ පළ කිරීමට නියමිතය.

Related posts

Comments are closed.

Top