උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයත් විදියි

 

ජපානයට ඉහලින් දෙවැනි දිගුදුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.

මෙම මිසයිලය හොකයිදෝ මුහුදට පතිත වීමට පෙර කිලෝ මීටර 770 ක පමණ ඉහලට සහ කිලෝමීටර 3700 ක් දුර ගමන් කළ බව දකුණු කොරියා හමුදාව පවසා ඇත.

14 බ්‍රහස්පතින්දා උතුරු කොරියා වේලාවෙන් පෙරවරු 7 ට පෙර බැලස්ටික් මිසයිලය එල්ල කර ඇතැයි වැඩිදුරටත් ඔවුහු පවසති.

පසුගිය මස අග භාගයේදී ජපානයට ඉහලින් ගමන් කළ පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට වඩා වැඩි දුරක් ගමන් කළ මෙවර ප්‍රහාරය නිසා රට තුල නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

මෙවැනි “අනතුරුදායක ක්‍රියාවලියක්” තම රට “කිසිසේත්ම නොඉවසන” බව ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ පවසා ඇත.

උතුර විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව මිනිත්තු කිහිපයක් ඇතුලත බැලස්ටික් මිසයිල දෙකක් මුහුද වෙත විදීමට කටයුතු කර තිබේ.

උතුරු කොරියාව විසින් දියත් කළ අත්හදා බැලීම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටයිලර්සන් විසින් හෙලා දැක ඇත.

ඇමරිකාවේ සහ ජපානයේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 15 සිකුරාදා නිව්යෝක් නුවරදී රැස්වීමට නියමිතය.

Related posts

Comments are closed.

Top