රජයේ නියෝගය ඉටු නොවීම නිසා වැලිකඩ රැඳවියන්ට ‘පස් දිනකින් බේත් නෑ’

මුල්‍ය වංචා චෝදනාවට සිර දඬුවම් නියමවූ රාජපක්ෂ පාලනයේ මුල් පෙලේ බලධාරීන් දෙදෙනකුට යුතු වරප්‍රසාද ලබා දීම ඇතුළු චෝදනා රැසක් හමුවේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය වරිය බන්ධනාගාර රෝහලින් ඉවත් කිරීමට රජය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක නොවීම නිසා සිරභාරයේ සිටින රෝගීන්ට දින පහක් තිස්සේ ප්‍රතිකාර ලැබී නැතැයි ශ්‍රී ලංකාවේ සිරගත කොට සිටින්නන් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රධානතම සංවිධානය පවසයි.

මහජන මුදලින් කෝටි ගණනක සිල්රෙදි බෙදීමේ වරදට සිපිරිගෙට යවනු ලැබු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් අනුෂ පැල්පිට දෙදෙනාට හිරගෙදරදී අයුතු වරප්‍රසාද ලබාදුන් බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සමග පුරවැසි ක්‍රියාකාරිකයන් රැසක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර වැලිකඩින් ඉවත් කරන ලදී.

වෛද්‍යවරිය වැලිකඩින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දෙන ලද නියෝගය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වා එම රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් දියත් කර තිබේ.

නිර්මලී තේනුවර  සිරභාරයේ සිටින රෝගීන්ට දින පහක් තිස්සේ ප්‍රතිකාර නොලැබීමට බලපෑ ඇති බව බන්ධනාගාර රැඳැවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වෛද්‍ය නිර්මලී තේනුවරගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක කර රැදවියන්ගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු නැවත කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

Related posts

Comments are closed.

Top