විද්‍යා දැරිය ඝාතනයට හතකට මරණ දඬුවම්| VIDEO

සිවලෝගනාදන් විද්‍යා දැරිය මරා දැමිම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හත් දෙනකුට මරණ දඩුවම ලබා දීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ.

අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ විනිසුරු තුන් කට්ටුව ඔවුන් සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළ අතර සෙසු සැකකරුවන් හට මරණ දඩුවම සහ බරපතල වැඩ සහිතව 30 වසරක සිර දඩුවම් හිමි විය.

වරදකරුවන් හට රුපියල් 40,000 දඩයක් නියම කළ අධිකරණය මරණයට පත් දැරියගේ පවුලේ උදවියට රුපියල් දශලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළ බව ගගන වර්තාකරු පවසයි.

සිවලෝගනාදන් විද්‍යා දැරිය 2015 මැයි 13 හෝ ඊට ආසන්න දිනකදී අපයෝජනය කර මරා දැමුන අතර ඇයගේ අවසන් කටයුතු මැයි 15 දින යාපනයේදි සිදු කෙරුණි.

මැයි 14 දා ඇය ඝාතනය කිරිමට විරෝධය දක්වමින් යාපනය, කිලිනොච්චි හා මුලිතිව් ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් විරෝධතා දැක්වු අතර මැයි 20 දා සැකකරුවන් 28 දෙනා උසාවියට ගෙන එන විට ගල්මුල් ප්‍රහාර එල්ල විය.

සිද්ධියට විරෝධය දක්වා 2015 මැයි 20, 21 උතුරේ හර්තාල් පැවති අතර රාජ්‍ය ආයතනද එයට එක්වීම විශේෂත්වයකි.

2016 මැයි 12 දා සැකකරුවන්ට එරෙහිව යාපනය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන ලද අතර දැරිය ඝාතන කිරීමේ නඩුව කොළඔට ගෙන යාමේ උත්සාහයට විරෝධය පා මැයි 15 වනදා විරෝධතාපැවතුනි.

සිංහල විනිසුරු මඩුල්ලකි හමුවේ නඩුව විභාග කිරිම හරහා අගතියට පත් පාර්ශවයට අසාධාරයක් වන බව විරෝධතාකරුව්න පෙන්වා දුනී.

නඩුවේ 9 වැනි සැකකරු වන ස්විස් කුමාර්ට පලා යාමට උපකාර කිරිමේ චෝදනා මත ජුලි 15 වනදා මධ්‍යම සහ ඌව පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගන්නා ලදී.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලසිංහම් ශෂි මහේන්ද්‍රන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චේලියන් සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමශන්කර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල යටතේ නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන ලදී.

Related posts

Comments are closed.

Top