එක්සත් ජාතීන්ගේ දරුස්මාන් කමිටුවට මියන්මාරයේ දොර වැසේ

 

ජීවිත රැකගැනීම උදෙසා පලා ගිය රෝහින්ග්‍යා වැසියන් විශාල ප්‍රමාණයක් වාසය කළ මියන්මාර රඛයින් ප්‍රාන්තයට පිවිසීමට සැලසුම් කර තිබු සංචාරය එරට බලධාරීන් විසින් අවලංගු කර ඇතැයි එක්සත් ජාතින් පවසයි.

පසුගිය අගෝස්තු මස අගභාගයේදී හමුදා සහ කැරලි කණ්ඩායම් අතර ගැටුම් හටගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් එම ප්‍රදේශයෙහි සිදු කිරීමට නියමිතව තිබු පළමු සංචාරය මෙය විය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්පාදනය කළ ඉන්දුනීසියා මානව හිමිකම් නීතිඥ මර්සුකි දරුස්මාන්ගේ නායකත්වයෙන් යුත් එජා කමිටුවේ අනිකුත් සාමාජිකයන් වන්නේ ශ්‍රී ලාංකික මානව හිමිකම් නීතිවේදී රධිකා කුමාරස්වාමි සහ ඕස්ට්‍රේලියා මානව හිමිකම් නීතිඥ ක්‍රිස්ටෝපර් සිඩෝටි ය.

ඔවුන්ගේ  සංචාරය අවලංගු කිරීමට හේතුවක් සපයා නොමැති වග එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් දුජරික් 27 බදාදා පැවසුවේය.

ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ල කළ ආක්‍රමණිකයන් ඉලක්ක කරගනිමින් දැවැන්ත හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ආධාරක කණ්ඩායම් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බල කෙරී ඇත.

මසක් වැනි කාලයක් තුල ලක්ෂ ගණනක් රෝහින්ග්‍යා වැසියන් බංග්ලාදේශය වෙත පලා යාම පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා රඛයින් ප්‍රාන්තයට ඇතුල් වීමට ජාතීන්ගේ සංවිධානය මහත් පරිශ්‍රමයක් දරයි.

බෞද්ධ පිටුබලය

බෞද්ධ කණ්ඩායම්වල පිටුබලය ලත් මියන්මාර හමුදා විසින් පහරදීම්, ඝාතන කිරීම්, කෘර වද හිංසා කිරීම්, ගම්මාන ගිනිබත් කිරීම් සිදු කරමින් ජනයා පන්නා දැමීමට උත්සහ කිරීම නිසා තමන් දේශසීමා තරණය කළ බවට එසේ පලා ආ පිරිසගෙන් චෝදනා එල්ල වී තිබේ. එසේම බොහොමයක් ගම්මාන විනාශ වී ඇති බව මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සහ වාර්තා තහවුරු කරයි.

නමුත් හමුදා අංශ පවසන්නේ කැරලිකරුවන් පමණක් තමන්ගේ ඉලක්කය වූ බවයි. රෝහින්ග්‍යා ආක්‍රමණිකයන් අතින් මරා දැමුණු හින්දු ජාතිකයන් 45 දෙනකුගේ සමුහ මිනි වළක් සොයාගත් බව ද මෙම සතිය මුලදී ඔවුහු චෝදනා කර සිටියහ.

කෙසේ නමුත් මානවහිමිකම් කණ්ඩායම් පවසන්නේ බංග්ලාදේශයට පලා ආ වැසියන්ට අමතරව ප්‍රාන්තය තුල ද බොහොමයක් පිරිස් අවතැන්ව සහ සිය දහස් ගණනක් ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් හිඟකමින් පිඩා විඳින බවයි.

“වඩා නිදහස් සහ පුළුල් පිවිසුමක් උදෙසා ප්‍රදේශය වෙත තබන පළමු පියවර” මෙය බවට බලාපොරොත්තු තබා සිටි සංචාරය අවලංගු කිරීමට පෙර, එක්සත් ජාතීන්ගේ කාර්යාංශ ප්‍රධානින් ද මේ සඳහා සහභාගී වීමට නියමිතව සිටි බව ස්ටෙෆාන් දුජරික් වැඩිදුරටත් පවසා ඇත.

මෙම අර්බුදය පිලිබඳ සාකච්ඡා පැවැත්වීම උදෙසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 28 බ්‍රහස්පතින්දා නිව්යෝක් නුවරදී රැස්වීමට කටයුතු සුදානම් කර තිබේ.

Related posts

Comments are closed.

Top