යුද අපරාධ චෝදනා සියල්ලට පිළිතුරු දී තිබෙන බව හමුදාපති කියයි | VIDEO

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නගා ඇති යුද අපරාධ චෝදනා සියල්ලටම පිළිතුරු ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානියා පවසයි.

ඒ සම්බන්ධයෙන්  තවදුරටත් විස්තර දැන ගැනීමට එක්සත් ජාතීන්ට අවශ්‍ය වේ නම් ඒ සඳහා විවෘත සංවාදයට සුදානම් බව යුද හමුදාපතිවරයා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

“ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු,” යි ලුතිනන් ‍ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් යුද අපරාධ චෝදනා එල්ල කොට ඇති සේනාංකයකට අණදුන් යුද හමුදා විධායක ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් කැටුව ශ්‍රී ලංකා යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත ධජ පූජා කිරීමට 28 බ්‍රහස්පතින්දා දළදා මාළිගාවට ගිය අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අනුකුලව කටයුතු කරන රටක හමුදාවක් ලෙසින් විනයානුකුලව රාජකාරි  බව ලුතිනන් ‍ජෙනරාල් මහේෂ් සේනානායක අවධාරණය කළේය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණ පවත්වා දඬුවම් පමුණුවන බව හමුදාපතිවරයා සිය පත්වීමේ නිල කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කර තිබුනි.

උතුරු නැගෙනහිරින් ඉවත්වීම

උතුරු නැගෙනහිර ජන ජීවිතය හමුදාකරණයෙන් ඉවත් වීමට යුද හමුදාවේ බලාපොරොත්තුවක් නොමැති කම පල කළ යුද හමුදාපතිවරයා යුද හමුදාව  “නිවාස වේවා, අධ්‍යාපන වේවා, වෛද්‍ය වේවා සෑම දෙයකම  උතුරු නැගෙනහිර පෙරමුණ අරගෙන ඉන්නවා,” යි පැවසීය.

හමුදාපතිවරයා මෙන්ම එහි සිටි එක් මාධ්‍යවේදියකුද යුද හමුදාව උතුර නැගෙනහිර සිවිල් වැඩ කටයුතු වල ආරක්ෂක හමුදා නිරත වී සිටීම හැඳින්වුයේ “ජනතාව වෙනුවෙන් කළ යුතු රාජකාරි” ලෙසයි.

උතුරේ අති විශාල භටකායක්  ස්ථානගත කර ඇති බවට උතුරු මහ ඇමැතිවරයා කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ යුද හමුදාපති ලුතිනන් ‍ජෙනරාල් මහේෂ් සේනානායක භට පිරිස් රඳවා ඇත්තේ “සමීක්ෂණය කොට විශ්ලේෂණය කොට” බව පවසමින් එය සාධාරණීකරණය කළේය.

“අවශ්‍යතාවයක් නෑ දැනට අයින් කරන්න,” යි ඔහු අවධාරණය කළේය.

මහ නායක හිමිවරුන් බැහැ දැකීමට මහ ඇමැති විග්නේස්වරන් පැමිණීම අගය කළ හමුදාපතිවරයා තමන් දුරකතනයෙන් මහ ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් තුති පුද කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ධජ පතාක වලට ඉදිරි දින කීපයේදී සර්වාගමික ආශිර්වාදය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවද හමුදාපතිවරයා මහනුවරදී මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේය.

 

Related posts

Comments are closed.

Top