රෝහින්ග්‍යා විරෝධී ප්‍රහාරය: “සිංහලයන් සන්නද්ධ කිරීමේ  වෑයමක්” | VIDEO

එක්සත් ජාතීන්ගේ භාරයේ සිටි රෝහින්ග්‍යා ජාතිකයන් පිරිසක් බූස්ස රැඳවුම් කඳවුරට පලවා හරිමින් ප්‍රචණ්ඩ ප්‍රහාරයක් මෙහෙයවූ භික්ෂුන් ඇතුළු නායකයන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා පැමිණිලි දෙකක් ගොනු කර තිබේ.

පොලිස් මුලස්ථානයට කර ඇති පැමිණිල්ලෙන් ඩෑන් ප්‍රියසාද්, අක්මීමන දයාරත්න හිමි, අරඹේපොල රතනසාර හිමි සහ සිංහලේ සංවිධානයේ ජනිත යන සිව් දෙනාට චෝදනා කොට ඇති පරිදි රෝහින්ග්‍යාවරුන් 31 දෙනකු රඳවා සිටි ගල්කිස්සේ නිවසකට පහර දීමේරමුණ සිංහල තරුණයන් ආයුධ සන්නද්ධ කිරීමයි.

“මෙම ක්‍රියාවෙන් රටේ ආරක්ෂාවට හා සාමයට රටේ ජාතිවාදී කෝලාහල ඇති කිරීමට තරුණ සිංහල පිරිස් ආයුධ සන්නද්ධ කිරීමේ අරමුණින් සිදු කරන ක්‍රියාවන් වේ,” යි නිසාම් ෂයිනාස් නීතිඥවරයා කර ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.

පලවා හරින ලද පිරිසේ ඉන්නා බහුතරය වයස අවුරුදු දහයට අඩු දරුවන්ය.

බූස්ස කඳවුරේ වීඩියෝ

බිළින්දන් ඇතුළු ඒ දරුවන් කැටුවගත් සරණාගතයන් පිරිසට බූස්ස රැඳවුම් කඳවුරේ සිරකුටි වල සිමෙන්ති පොළොව මත ඉන්නට සිදුවී ඇති සංවේගජනක ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ගගන වෙත ලැබී ඇත.

ඒ අතර සිටින පාසල් යන වයසේ කුඩා ළමුන් ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට රජය විසින් අවස්ථාව සැලසිය යුතු බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

“එසේම මෙම දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සහ මූලික අයිතියක් වන අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම ශී‍්‍ර ලංකා රජයේ වගකීමකි,” යි නිවේදනය කරන ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට මැදිහත් වන ලෙස තම සංගමය සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් ද ඉල්ලීමක් කර ඇති බවයි.

ඔවුන්ගේ තත්වය සොයා බලන්නට 28 බ්‍රහස්පතින්දා ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිත පිරිසක් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව කොමසාරිස් සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා ගගන හා කියා සිටියේය.

පොලිස් ස්ථානාධිපති ‘පක්ෂග්‍රාහීයි’

රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවසට ආරක්ෂාව ලබාදී, ප්‍රචණ්ඩතාව මැඩපැවැත්වීමට ක්‍රියා නොකර පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළ බවට නීතිඥවරයා ගේ පැමිණිල්ලෙන් ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා නගා තිබේ.

ප්‍රහාරය දියත් වූ අවස්ථාවේ ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර  භික්ෂුන් පෙරටුකොටගත් ප්‍රහාරකයන් හමුවේ කියා සිටියේ සරණාගතයන් තම බල ප්‍රදේශය තුල රඳවා සිටි බවක් නොදැන සිටි බවයි.

එසේ වෙතත්, නීතිඥ ෂයිනාස් විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක දක්වා තිබුනු පරිදි  පොලිස් නිලධාරියා කර ඇත්තේ අසත්‍ය ප්‍රකාශයකි.

මිරිහාන සංක්‍රමණික රැඳවුම් කඳවුරේ සිටියදී රෝහින්ග්‍යා තරුණියක් පොලිස් නිලධාරියකු විසින් දුෂණය කරනු ලැබීමෙන් අනතුරුව සරණාගත පිරිස ගල්කිස්සේ තාවකාලිකව රඳවා තැබීමට පියවර ගනු ලැබුයේ පොලිසිය හා අදාළ සියළු ආයතන වෙත පූර්ව දැනුවත් කිරීමකින් පසුව බව නීතිඥ වරයා පවසා තිබේ.

ස්ත්‍රී දුෂණ චෝදනා ‘යට ගැසීමේ වෑයමක්’

පෙරෙට්ටුවකින් හඳුනාගනු ලැබූ සැකකාර පොලිස් නිලධාරියා ගංගොඩවිල මහේස්ත්‍රාත් වරයා විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

ගල්කිස්සේ ප්‍රහාරය ස්ත්‍රී දුෂණය සම්බන්ධ සාක්ෂිකරුවන් රටින් පලවා හැර අපරාධකරුවා ගලවා ගැනීමට දරන ලද වෑයමක් බවට සිවිල් සමාජ ක්‍රියාධරයෙක් චෝදනා කරයි.

ස්ත්‍රී දුෂණ චෝදනා එල්ලවන පොලිස් නිලධාරියාගේ ඥාතීන් පිරිසක්ද රෝහින්ග්‍යා විරෝධී ප්‍රහාරයට එක්ව සිටි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

“එක්සත් ජාතීන්ගේ භාරයේ සිටි, අධිකරණ නියෝගය මත පොලිස් රැකවරණය ලැබිය යුතු පිරිසකට ලිංගික හිංසනයක් කළ පුද්ගලයකු තමන්ට එරෙහි සාක්ෂි ලංකාවෙන් ඉවත් කර ගැනීම සඳහා ජනතා කැළඹීමක් ඇති කර ඇත,” යි කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර වෙත යවන ලිපියක සඳහන් කර ඇත.

අමාත්‍යාංශ ලේකම්

රෝහින්ග්‍යා විරෝධී ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උසාවියට වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව ප්‍රකාශ කරන අමාත්‍යංශ ලේකම් වරයා නිවේදනයක් මගින් ප්‍රහාරය හඳුන්වා තිබුනේ “විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිදියාවට තර්ජනයක් වෙමින්, පටු අරමුණු ඉටුකර ගැනීම සදහා සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය හා සමාජය නොමග යවන සුළු ක‍්‍රියා,” ලෙසිනි.

ප්‍රහාරයට නායකත්වය සැපයූ භික්ෂුන් අත් අඩංගුවට නොගැනීම ගැන අප්‍රසාදය පළකරමින් අගමැතිවරයාට ලිපියක් යවන පුරවැසි කණ්ඩායමක් සිද්ධියෙන් තුන් දිනකට පසු ජගත් විජේවීර ලේකම්වරයා නිකුත් කළ  නිවේදනය හෙලා දැක ඇත්තේ “ඇඟ බේරා ගැනීමේ වෑයමක්” ලෙසිනි.

අන්තවාදීන්ට වීදියේ වෛරී උද්ඝෝෂණ පවත්වන්නට නැවත වතාවක් මග සැලසී ඇත්තේ ජාතිවාදී ප්‍රචණ්ඩ විරෝධතාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දිගින් දිගටම දක්වා ඇති කැපී පෙනෙන මැලිකම නිසා බව ඔවුන් විසින් අගමැතිවරයා වෙත දැඩි ස්වරයෙන් ලියා ඇති විවෘත ලිපියක අවධාරණය කර ඇත.

සරණාගතයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු බව පවසන ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සාමය කඩකොට, රෝහින්ග්‍යාවරුන්ට විරුද්ධව ප්‍රචණ්ඩ ලෙස කටයුතු කරමින්, මුස්ලිම්වරුන් ප්‍රමුඛ සුළුතර ජනකොටස් වලට එරෙහිව වෛරී උද්ඝෝෂණයක යෙදුනවුන් අත් අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නා ලෙසයි.

ලිපියට අත්සන් තබා ඇත්තේ මාධ්‍යවේදී කුසල් පෙරේරා, වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්, ලේඛක කෞශල්‍ය කුමාරසිංහ, ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව් ඒ විජේවර්ධන, ටෙරන්ස් පෙරේරා පියතුමා, විද්‍යාර්ථී ඒ ආර් එම් ඉම්ටියාස්, ජෙයබාලන් කෘස් පියතුමා, සිවිල් හා මානව හිමිකම් ක්‍රියාධර එමිල් වැන්ඩර්පූටන් සහ සම්මාන මහාචාර්ය අජිත් අබේසේකරයි.

Related posts

Comments are closed.

Top