හිමිනමක්, කාන්තාවක් ඇතුළු හතක් රෝහින්ග්‍යා විරෝධී ප්‍රහාරයට රිමාන්ඩ් | VIDEO

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක්‌ රඳවා සිටි ගල්කිස්‌ස මහල් නිවසක් අසල කලහකාරී ලෙස හැසිරෙමින් එම නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එක් බෞද්ධ හිමිනමක් රිමාන්ඩ් ගතකොට තිබේ.
 

සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි සහ රවීන්ද්‍ර වර්නජිත් පෙරේරා මෙම මස 9 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්කිස්‌ස මහේස්‌ත්‍රාත් අධිකරණය 2 සඳුදා  නියෝග කළේය.

 

මීට පෙර  මෙම සිද්ධියට සැක පිට වීරසේකරගේ ඩිෂාන් චමිරුවන් රුද්‍රිගු (34), රත්මලාන හපුගම්මන ගමරාලලාගේ කල්‍යාණි පොඩිමැණිකේ (42), මීතොටමුල්ල ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් (52), ගණේමුල්ල ජනිත නිරෝෂණ දීපගේ (45), එඩේරමුල්ල නාවලගේ දොන් චින්තක සංජීව (44) යන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
 

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු වන නාවල නානායක්‌කාර ගොඩකන්ද කංකානම්ලාගේ ගයාන් මධුසංඛ සෙනෙවිරත්න (22) පොලිස්‌ ඇප මත මුදාහැර ඇත.
 

අරඹේපොල රතනසාර හිමියන්ද ජාතිවාදී ප්‍රහාරයට පිරිස් පෙලඹවූ බවට ගල්කිස්සෙන් පලවා හැරීමෙන් පසු බූස්ස රැඳවුම් කඳවුරට යවනු ලැබූ රෝහින්ග්‍යා සරණාගතයන්ගේ නීතිඥවරයා පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබුනි.
 

ප්‍රචණ්ඩ ප්‍රහාරය මැඩ පැවැත්වීමට කිසිත් නොකළ ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාරට එරෙහිව පියවර ගන්නා ලෙසත් එමගින් ඉල්ලා තිබුනි.
 

දිවි ගලවාගනු පිණිස මියන්මාරයෙන් පලාවිත් එක්සත් ජාතීන්ගේ රැකවරණ යටතේ රඳවා සිටි රොහින්ග්‍යාවරුන්  ‘ත්‍රස්තවාදීන්’ ලෙස ප්‍රසිද්ධියේ අවමානයට පත්කළ අක්මීමන දයාරත්න හිමියන් අනුමත කරමින් ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක වැඳ නමස්කාර කරනු වීඩියෝ දර්ශන වල දැක්විනි.
 

රෝහින්ග්‍යා සරණාගත කණ්ඩායම රැඳී සිටි නිවසින් පිටමං කිරීමට බල කරමින් සිංහල බෞද්ධයන් ඒකරාශී කිරීමට එම ස්‌ථානයේ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය ෆේස්‌බුක්‌ හරහා සජීවීව පෙන්වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

 

Related posts

Comments are closed.

Top