මියගිය දෙමළ සරණාගත සිරුර ගෙන ඒමට ආණ්ඩුව ලක්ෂ 12ක් ඉල්ලයි

ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරක රඳවා සිටියදී මියගිය දෙමළ තරුණයකුගේ මළ සිරුර ආපසු ගෙනැවිත් දීම සඳහා ශ්‍රී ලංකාවේ රජය රුපියල් දොළොස් ලක්ෂයකට වැඩි මුදලක් ඉල්ලා සිටි බව ඔහුගේ ඥාතීන් පවසන අතර ඒ කාරිය සඳහා  මුදල් ඉල්ලා සිටි බවට කලින් පළවූ වාර්තා කොළඹ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පැපුවා නිව් ගිනියාවේ ලොරෙන්ගෝ රෝහලේදී මියගිය රජීව් රාජේන්ද්‍රන්ගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා දීමට නම් රුපියල් 12,54000  ක් ගෙවන ලෙස යාපනයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ යාපනය කාර්යාලයේ නිලධාරියකු දැනුම් දුන් බව ඔහුගේ ඥාතියකු පවසයි.

පියාද බරපතල අසනීපයෙන් සිටියදී ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන තම පවුලේ සාමාජිකයන්ට ඒසා විශාල මුදලක් වියදම් කිරීමේ හැකියාවක් නැති බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු හැඬුම්බරව ගගන හා කියා සිටියේය.

සිරුර ගෙන්වා දීමට මුදල් ඉල්ලූ බවට ඕස්ට්‍රේලියාවේ දෙමළ සරණාගත කවුන්සිලය (TRC) උපුටා දක්වමින් මීට ඉහත පල වූ වාර්තා කොළඹ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය විසින් අසත්‍ය ලෙසින් ප්‍රතික්ෂේප කර තිබේ.

“රජෙන්ද්‍රන්ගේ පවුලේ කිසිවෙකුත් මහා කොමසාරිස් කාර්යාලයද ඇතුළුව ඕස්ට්‍රේලියානු රජය වෙත මෙතෙක් සම්බන්ධ වී නොමැති අතර මෘත දේහය ගෙන ඒම සඳහා මුල්‍යාධාර ඉල්ලීමක්ද කර නොමැත,” යි මහ කොමසාරිස් කාර්යාලය 4 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

“රාජේන්ද්‍රන් මහතා මියගොස් ඇත්තේ පැපුවා නිව් ගිනියාවේදී බැවින් දේහය ගෙන්වා ගැනීම පිලිබඳ කටයුතු පැපුවා නිව් ගිනීයා රජයට අදාළ කාර්යයකි.”

කෙසේවෙතත්, TRC සංවිධානය ප්‍රකාශ කරන්නේ දේශපාලන රැකවරණ සඳහා කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙනතුරු සරණාගත විරෝධය නොතකා ඕස්ට්‍රේලියා රජය විසින් පැපුවා නිව් ගිනියා කඳවුරු වල රඳවනු ලබන පුද්ගලයන් සම්බන්ධ පූර්ණ වගකීම ඇත්තේ ඕස්ට්‍රේලියාවට බවයි.

රජීව් රාජේන්ද්‍රන් ගේ මරණය සම්බන්ධ වගකීමෙන් “අතසෝදා ගෙන” පැපුවා නිව් ගිනීයා (PNG) බලධාරීන්ට “බෝලය පාස් කරන” බවට ඕස්ට්‍රේලියා රජයට චෝදනා කරන TRC ප්‍රකාශක ඇරන් මයිල්වාගනම් ගගන හා කියා සිටියේ මියගිය තරුණයාගේ සිරුර ඔහුගේ සමීපතමයන් වෙත භාරදීම ඇතුළු අවමංගල්‍යය සම්බන්ධ සියලු වියදම් ඔස්ට්‍රේලියාව විසින් දැරිය යුතු බවයි.

මේ අතර මියගිය තරුණයා සිව් වසරක් රඳවා සිටි නැගෙනහිර ලොරෙන්ගෝ කඳවුරේ සහ රැඳවියන් ඔහු සමරා නිහඬ විරෝධතාවක් පවත්වා තිබේ.

“අප මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය PNG අත යොදාගනී,” යි විරෝධතාකරුවන් අත වූ එක සටන් පාඨ පුවරුවක දැක්වුනි.

Related posts

Comments are closed.

Top