මුලතිව් දිස්ත්‍රික්කයේ “හැම දෙදෙනකුටම එක හමුදා සෙබලෙක්”

උතුරේ පවතින හමුදාකරණය පිලිබඳ බියජනක චිත්‍රයක් ගෙනහැර දක්වන අලුත්ම වාර්තාවකින් හෙළිකොට ඇති පරිදි මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වන සෑම සාමාන්‍ය වැසියන් දෙදෙනකුටම එක හමුදා භටයකු බැගින් සිටී.

යාපනය මුලස්ථාන කොටගත්  ප්‍රතිපත්ති ගවේෂණය සඳහා වන අඩයාලම් මධ්‍යස්ථානය සහ වොෂින්ටන් මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය සහ සහන සඳහා වන ජනතාව (පර්ල්) සංවිධානය එක්ව එළිදක්වා ඇති “අසාමාන්‍යය සාමාන්‍යකරණය: මුලතිව් හමුදාකරණය” නම් වාර්තාවේ දැක්වෙන පරිදි මුලතිව්හි රඳවා සිටින ශ්‍රී ලංකා යුද හමුදා භට සංඛ්‍යාව හැට දහසකි.

ඊට අමතරව එහි රඳවා සිටින ගුවන් හා යුද හමුදා භට පිරිසද එක්ව ගත් කල සංඛ්‍යාව තවත් ඉහල යන බව දර්ශා ජෙගදීශ්වරන් සහ මාරියෝ අරුල්දාස් විසින් සංස්කරණය කරන ලද පිටු 38කින් සමන්විත වාර්තාව පවසයි.

යුද සේනාංක රඳවා ඇති ස්ථාන දැක්වෙන සිතියම්ද සහිතව වාර්තාව ඒ අනුව පෙන්වා දෙන්නේ 243,000 ක් ඉන්නා බව සැලකෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ හතරෙන් පංගුවක්ම වාඩිලාගෙන ඉන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේය.

රජයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වන වාර්තාවේ සඳහන් පරිදි  මුලතිව් දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහනය 130,322කි.

ආක්‍රමණික හමුදාවක්

ඒ අතරින් සෑම දෙදෙනකුටම එක් යුද භටයකු බැගින් සිටීම ආක්‍රමණික හමුදාවක් වාඩිලා ගැනීමට සමාන බව අඩයාලම් සහ පර්ල් සංවිධාන කියා සිටී.

ජාත්‍යන්තර සංවිධාන, දෙමළ දේශපාලකයන් සහ ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියත් උතුරු නැගෙනහිර හමුදාහරණය සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු සැලකියයුතු පියවරක් නොගෙන සිටීම නිසා ඒ පළාත් පවතින්නේ “මූලික අයිතිවාසිකම් මර්දනය කරමින් දිගටම පවතින වාර්ගික ගැටුමට දායකවන හමුදා වාඩිලා ගැනීමක් යටතේ,” බව වාර්තාව අවධාරණය කරයි.

“උදාහරණයක් ලෙසින්, දෙමළ ජන ජීවිතයේ අංශ ගණනාවකටම කාවැදී යුද හමුදාව පෙර පාසල්, ගොවිපල, හෝටල් සහ වෙනත් මෙහෙයුම් වල යෙදෙයි,” යනුවෙන් වසර ගණනක් තිස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පෙන්වා දී ඇති පීඩාවක් ස්වකීය වාර්තාවේ සඳහන් කරයි. “තම ප්‍රජාවේ සංවර්ධනයට අඛණ්ඩවම බාධා පැමිණෙද්දී, මගතොටේදී, කඩපිලේදී, සහ පාසල් වලදී මුණගැසෙන ආරක්ෂක භටසේනා නිසා දෙමළ ජනතාව සහ ඔවුන්ගේ දරුවන් බියපත්වී සිටිති.”

මෙයාකාරයෙන් උතුරු නැගෙනහිර හමුදාකරණය සාමාන්‍යකරණය කොට ඇති බවට වාර්තාව අනතුරු අඟවයි.

උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් විසින් 2016 දී එක්රැස් කරගන්නා ලද සංඛ්‍යාලේඛන අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර තිස්හතර දහසකට  අධික භූමි ප්‍රමාණයක් පවතින්නේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා යටතේය.

යුද හමුදාපති

උතුරු නැගෙනහිර ජන ජීවිතයේ සෑම අංගයකටම පාහේ ආරක්ෂක හමුදා ඇතුල්වී සිටින බව යුද හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා තහවුරු කර තිබේ.

යුද හමුදාව “නිවාස වේවා, අධ්‍යාපන වේවා, වෛද්‍ය වේවා සෑම දෙයකම උතුරු නැගෙනහිර පෙරමුණ අරගෙන ඉන්නවා,” යි හමුදාපති ලුතිනන් ‍ජෙනරාල් මහේෂ් සේනානායක අවධාරණය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 68 වැනි වර්ෂ පූර්ණ සංවත්සරය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වෙත ධජ පූජා කිරීම සඳහා සතියකට ඉහතදී දළදා මාළිගාවට ගිය අවස්ථාවේය.

ජනතාවගේ වැඩ කටයුතු කිරීමේ ‘ශක්‍යතාව ඇත්තේ’ යුද හමුදාවට පමණෙකැ’යි කියමින් උතුරු නැගෙනහිර වාඩිලා ගැනීම සාධාරණීකරණය කළ  හමුදාපති වරයා “අවශ්‍යතාවයක් නෑ දැනට අයින් කරන්න,” යි තිරකොට කියා සිටියේය.

 

Related posts

Comments are closed.

Top