අතුරුදහන් කිරීම දිගටම කෙරෙන අපරාධයක්: ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේ ඉරණම හෙළිදරව් කෙරෙන තුරු එය අපරාධයක් වශයෙන් පිළිගත යුතුයැයි මානව හිමිකම්  අධීක්ෂණය පිණිස දේශීය වශයෙන් පිහිටුවා ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රසාදය දක්වා එය ගැසට් කිරීම  “නිවැරදි පියවරක්” ලෙස ප්‍රශංසාවට ලක් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන්  එම ඉල්ලීම කර ඇත්තේ  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමයි.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වන පරිදි පනත වැඩිදියුණු කිරීමේ අරමුණින් යුත් නිරීක්ෂණ සහ නිර්දේශ රැගත් සංදේශයකින් කොමිසම විසින්  දක්වා තිබෙන්නේ  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද පෙන්වා දී ඇති පරිදි  පුද්ගලයන් අතුරුදහන් කිරීම දිගටම සිදුකෙරෙන අපරාධයක් වග නීතිගත කළ යුතු  බවයි.

“බලහත්කාරයෙන් සිදුකරනු ලබන අතුරුදහන් කිරීම් අඛණ්ඩව සිදුවන අපරාධයක් හෙයින්, මෙකී උල්ලංඝනයන්ගේ අඛණ්ඩ ස්වභාවය පිළිගන්නා බව පනතේ පැහැදිලිවම ප්‍රකාශ විය යුතුවේ,” යි කොමිසමේ ප්‍රධානී ආචාර්ය දීපිකා උඩගම ගේ අත්සනින් යවා ඇති ලිපියේ සඳහන් වෙයි.  “මෙම අපරාධය මගින් අයිතිවාසිකම් ගණනාවක්ම උල්ලංඝනය වන හෙයින්, එය සුවිශේෂ වූ ඒකාබද්ධ ක්‍රියාවක් මිස ක්‍රියාකාරකම් කිහිපයක එකතුවක් නොවේ.”

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ට 2016 දී අත්සන් කළ ශ්‍රී ලංකාව එය නීතිගත  කිරීම සඳහා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළේ මේ වසරේ අගෝස්තුවේය.

එම ක්‍රියාමාර්ගය “ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීමේ දීර්ඝ ඉතිහාසය සම්බන්ධයෙන් පියවර ගැනීමටත්, මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කළවුන් දඬුවම් නොලබා යාම වලක්වා ලීමට මෙන්ම, අතුරුදහන් කරන ලද්දවුන්ගේ පවුල් වලට සත්‍යය හෙළිදරව් කර ගැනීමේ සහ සහන ලබා ගැනීමේ හැකියාව සැලසීම උදෙසා ගනු ලබන ඉතා වැදගත් ප්‍රගතිශීලී පියවරක්,” බවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යැවූ ලිපියෙන් කොමිසම විශ්වාසය පල කරයි.

බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ’වුන් දණ්ඩ මුක්තිය ලැබීම අවසන් කොට යහපාලනය තහවුරු කිරීම සඳහා වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජිනීවා යෝජනාවෙන් ගිවිසගෙන තිබේ.

රණවිරු දඩයම

ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වන චෝදනා සැමෙකක්ම පාහේ  එල්ලවී ඇත්තේ  ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාවලට සහ පොලිසියටයි.

යෝජිත පනත ‘රණවිරු දඩයමක්’ ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරටු කොටගත් සිංහල ජාතිකවාදී බලවේග කරන බියගැන්වීම් හමුවේ  අගමැතිවරයා දැඩි ලෙස කියා සිටියේ අතීතයේ සිදු කළ අතුරුදහන් කිරීම් සඳහා පනතින් දඬුවම් දිය නොහැකි බවයි.

කෙසේ වෙතත්, මානව හිමිකම් කොමිසම තම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ පනත නීතිගත වීමට කලින් සිදු කරනු ලැබුවත්, අතුරුදහන් පුද්ගලයාගේ ඉරණම තහවුරු කෙරෙන තුරු අපරාධය දිගටම කෙරෙමින් පවතින බවයි.

“උල්ලංඝනයේ ඇතැම් අංග නීතිය සම්මත වීමට පෙර සිදුකොට අවසන් වී තිබුනද වින්දිතයාගේ ඉරණම හෝ ඉන්නා තැනක් හෝ තහවුරු කරගන්නා තුරු අනිකුත් මුලිකාංග ක්‍රියාත්මක වේ,” යි ලිපියෙන් පැහැදිලි කර දෙයි.

යුද සමයකදී

යුද්ධයක් පවතින විටකදී පවා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි අපරාධයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට අවධාරණය කර දී තිබේ.

ඒ බව යෝජිත පනත මගින්ද සහතික කිරීම සඳහා “යුදමය තත්වයක් හෝ යුද්ධය ඇතිවීමේ තර්ජනයක් හෝ, දේශපාලනික අස්ථාවර භාවයක් හෝ වෙනයම් පොදු හදිසි තත්වයක් වැනි කිසිම විශේෂිත හේතුවක්,” පදනම් කරගෙන පුද්ගලයන් අතුරුදහන් කිරීම අපරාධයක් සේ සලකන ජාත්‍යන්තර සම්මුතියට අනුකූල වන පරිදි නව පනත සකස් කරගත යුතු බව කොමිසමේ නිර්දේශයකි.

ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දීමෙන් පසුවත්, පැහැරගෙන යාමෙන් අනතුරුවත් ආගිය අතක් නොමැති දහස් සංඛ්‍යාත ළබැඳියන්ගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් උතුරේ නෑසියන් දියත් කර ඇති සත්‍යග්‍රහ වලට මේ වන විට හත් මාසයකට වැඩි කලක් ගතවී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2016 නොවැම්බරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් වාර්තාවකින් තහවුරු කර තිබුනේ රජය විසින් නිල වශයෙන් අනුමත කර නැති ස්ථාන වලද පැහැර ගෙන යන ලද පුද්ගලයන් සිරකොට තබා ගෙන ඉන්නා බවයි.

වවුනියාවේ ජෝසප් කෑම්ප් ඇතුළු දිවයිනේ ස්ථාන ගණනාවක පැහැරගෙන යන ලද්දවුන් සිරකොට තබාගන්නා වධකාගාර අදත්  පවත්වාගෙන යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන සවිස්තර සාක්ෂි දක්වමින් හෙළි කොට ඇත.

පුද්ගලයන් රඳවා ගැනීම බලයලත් ස්ථානවල පමණක් සිදු කළ හැකි වන විධිවිධාන පනතට ඇතුල් කරන ලෙස මානව හිමිකම් කොමිසමේ සංදේශය ද ජනාධිපතිගෙන් ඉල්ලා සිටී.

එම ස්ථාන වලට යාමේ බලතල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට මෙන්ම අතුරුදහන් වුවන් සම්බන්ධ කාර්යාලය (OMP) ටද හිමිවන වගන්ති නව පනතට ඇතුල් කළ යුතු බවද කොමිසමේ නිර්දේශයකි.

හමුදා පොලිස් බිය වැද්දීම්

වසර ගණනක් තිස්සේ සිය සමීපතමයන් සොයමින් වෙහෙසෙන දෙමළ නෑසියන් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාධාරීන්ද රජයේ ආරක්ෂක අංශ සහ ඔත්තු සේවා වල නිරන්තර සෝදිසියට හා බිය වැද්දීමට ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කිහිපවර රජයට දැනුම් දී ඇත.

අතීතයේ සිදුවූ එයාකාර  සියලුම පීඩාකාරී සැලකීම් හෝ තර්ජනාත්මක බිය ගැන්වීම් වලින් පැමිණිලිකරුවන්, සාක්ෂි කරුවන් හා නීතිඥයන් අනාගතයේදී ආරක්ෂා කර, අතුරුදහන් වුවන් වෙනුවෙන් සංවිධානය වීමේ අයිතිය තහවුරු කෙරෙන ආකාරයෙන්,   බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය නීතිගත කිරීම සඳහා වන පනත මගින් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටියි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම “නීතිමය හා මානව හිමිකම් පිලිබඳ ගැටළුවක් පමණක් නොව, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත විනාශ කළ සාමාජීය ගැටලුවක්ද වේ,” යි ජනාධිපතිවරයාට සිහිපත් කොට දෙන සංදේශය “ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් සුරැකීමෙහි ලා අතිවිශාල වැදගත්කමකින් යුත් මෙම පනත් කෙටුම්පත,” සම්මත කරගැනීමට ඡන්දය දෙන මෙන් පාර්ලිමේන්තුවේ නියෝජනය වන සියලුම දේශපාලන පක්ෂ වලට කොමිසම ආයාචනයක්ද කරයි.

Related posts

Comments are closed.

Top