වර්තමාන රජය උතුරේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ- මහින්ද

 

වර්තමාන රජය උතුරේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  හම්බන්තොට දී  විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා ගාර ගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂ  ඇතුළු පිරිසගේ සුවදුක් විමසීම සඳහා තංගල්ල බන්ධනාගාරයට ඉරිදා (15)  ගිය  අවස්ථාවේදීයි.

“අද උතුරේ නීතියක් නෑ. උතුරේ නීතිය උතුරට ඕන විදියට. ඡන්දය ගන්න ඕන නිසා ඕනෑම දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්නවා,”  යැයි මහින්ද රාජපක්ෂ අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ විරෝධතාවයන් දක්වන්නන් මර්දනය  කිරීමට හිටපු ජනාධිපති ජේ. ආර් . ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීවත් සිදු නොවූ බවයි.

”මේ රටේ සම්පත් විකුණන එකට විරෝධය පාපු අය අද සිරගත කරලා තියෙනවා, මේ විකුණන්න හදන්නේ වරාය ගුවන්තොටුපොළ. මේ රටේ මහජනයාට අයිතියක් තියෙනවා මේවට විරුද්ධව නැගී සිටින්න. මේ රටේ ආරක්ෂාව තියෙන්නේ මේ උඩු ගුවන තුළ. ඒකත් විකුණනවානම් මේ රටේ ආරක්ෂාවට එක තර්ජනයක්. දැන් මේ රටේ අහස පොළව දෙකම ලබාදීමට මේ රජය කටයුතු කරනවා.ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීවත් මේවට විරුද්ධව සටන්කලා කියලා අත්අඩංගුවට ගත්තේ නෑ.” හිටපු ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, පස් දිනක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු අට දෙනකු “විශේෂ හේතු” පාදක කොටගෙන ඇප මත මුදා හරින ලදී.

එක් අයකුට ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප තුනක් යටතේ ඔවුන් නිදහස් කළ හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, උද්ඝෝෂණයට එක්ව සිටි තවත් 30කට වැඩි පිරිස තවත් සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Related posts

Comments are closed.

Top