සියම් නිකායේ පාර්ශව දෙකකින් බලය බෙදීමට විරෝධය

අලුත් ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිව යෝජනාවක් සම්මත කරගත් ශ්‍රී ලංකාවේ ථෙරවාද බෞද්ධ නිකායක පාර්ශව දෙකක් බලය බෙදීමට විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ තුන්නිකායෙන් එකක් වන සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි විහාර දෙකේ කාරක සංඝ සභා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයට රැස්වී 18 බදාදා තීරණය කර ඇති පරිදි නව ව්‍යවස්ථාව රටේ ඒකීය භාවයට හානියකි, බලය බෙදීම ජාතීන් අතර බේද ඇතිකිරීමකි.

ඒ නිසා “ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය වහාම නතර කළ යුතු,” යයි රජයට යෝජනා කිරීමට දෙපාර්ශවය තීන්දු කළ බව අස්ගිරි ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද අනුනාහිමියෝ මාධ්‍යවේදීන්ට කියා සිටියහ.

රැස්වීමට පෙර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් පිරිසක් යෝජිත ව්‍යවස්ථාවේ “භයානක භාවය” පිළිබඳව සංඝයා වහන්සේ දැනුවත් කළ බව අනුනාහිමිවරු පැවසූහ.

දෙමසකට ඉහතදී එලි දක්වමින් අගමැතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සකස් කරන ලද අතුරු කමිටු වාර්තාව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට නිර්දේශ කර ඇති අතර බලය බෙදීමේ මූලධර්ම ද එහි ඇතුළත් වෙයි.

අගමැතිවරයා දී ඇති සහතිකය බැහැර කරන සංඝ සභා දෙක තීරණය කර ඇත්තේ “තිබෙන ව්‍යවස්ථාව හොඳ” බවයි.

“ඒකීය කියලා කිව්වට, බුද්ධාගමට තැන දෙනවා කිව්වට ඒ දෙකටත් නෑ හරි තත්වයක්. ඒ වගේම පළාත් සභාවලට සම්පූර්ණයෙන්ම බලතල දීලා තියෙනවා මේ ව්‍යවස්ථාවෙන් කියලා කියන්නේ,” යි  මල්වතු පාර්ශ්වයේ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

ජනවාර්ගික සමගියට හානිකරයි

බලය විමධ්‍යගත කිරීම “සංහිඳියාවේ මුවාවෙන් සිංහල ජාතියට හානි පැමිණවීමක්” බවට මේතාක් පලකළ විරෝධය සියම් නිකායේ දෙපාර්ශවය මෙවර කාරක සංඝ සභා රැස්වීමෙන් අනතුරුව වෙනස් කර තිබේ.

එය “ජාතීන් අතර බෙදීමක් ඇතිකරන, ජනවාර්ගික සමගියට හානිකර”  කටයුත්තක් ලෙසයි අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් විසින් හඳුන්වනු ලැබුයේ.

වැලිවිට ශ්‍රී සංඝරාජ සරණංකර සංඝරාජ මාහිමියන් නායක්කාර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේත්, මුහුදුබඩ පාලනය පවත්වාගෙන ගිය ලන්දේසීන්ගේත් සහායෙන් සියම නමින් හැඳින්වුණු තායිලන්තයෙන් ගෙන්වා උපසම්පදාව පිහිටුවීමත් සමග සියම් නිකාය පිහිටුවන ලද්දේ 1753 දීය.

මල්වතු, අස්ගිරි පාර්ශව දෙකට අමතරව සියම් නිකායේ තවත් සංඝ සභා හයකි.

අමරපුර හා රාමඤ්ඤ යන අනිකුත් නිකාය දෙක සමගද සිය නව ව්‍යවස්ථා විරෝධී යෝජනාව සාකච්ඡා කොට ශ්‍රී ලංකාවේ සියලු සංඝයා වහන්සේ ඊට එකඟ කරගන්නට පියවර ගන්නා බව දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

Comments are closed.

Top