හිදැස: ව්‍යවස්ථාව, හම්බන්තොට විරෝධතා සහ උතුරේ හර්තාල්

නව ව්‍යවස්ථාවේ අන්තර්ගතයන් පිළිබඳව ද්විභාෂා පුවත්පත් තුළ වූ කතිකාව පසුගිය සති දෙකේ ඒ සම්බන්ධයෙන් පෙර තිබූ දිශානතියම පෙන්නුම් කර තිබූ අතර, මෙම සතියේ සිංහල මෙන්ම දමිළ පුවත්පත් යන කොටස් දෙකම සඳහා පොදු වූ එකම ප්‍රධාන පුවත බවට එය පත්ව තිබිණි. 2018 මූල්‍ය වර්ෂය සඳහා වූ විසර්ජන පනත සම්බන්ධ පුවත දමිළ පුවත්පත් මගින් වාර්තා කොට තිබුණද, උතුරු පළාත් සභාවට වෙන් කොට ඇති කෝටාවේ සැලකිය යුතු තරමේ අඩුවීමක් ඇති බව පෙන්නුම් කරනු විනා වෙනත් කිසිදු මත දැක්වීමක් හෝ විශ්ලේෂණයක් සිදුකර නොතිබුණි. මේ නිසා මේ සම්බන්ධයෙන් සිංහල සහ දමිළ පුවත්පත් වාර්තාකරණ තුළ සැලකිය යුතු තරමේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක හිදැසක්ද දකින්නට ලැබිණි. මීට සමාන ලෙසින්ම ලිට්‍රෝ ගෑස් සභාපති ෂලීල මුණසිංහ අත් අඩංගුවට ගැනීමද දමිළ පුවත්පත් තුළ ලබා තිබුණේ සුළු ආවරණයකි.

හම්බන්තොට විරෝධතා: මහ මැතිවරණයට පාර කැපීමක්ද?

මත්තල ජාත්‍යන්තර ගුවන්තො‍ටුපල ඉන්දියාවට බදු දීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් පවත්වන්නට යෙදුණු විරෝධතාවය සිංහල පුවත්පත් තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක් වී තිබුණද, දමිළ පුවත්පත් තුළ එතරම් අවධානයක් ලබා නොතිබුණි.

විරෝධතාවයන්ට පසුව පැමිණි දින වලදී දිනපතා සිංහල පුවත්පත් මගින් දරුණු ලෙසින් පොලිසිය හෙළා දැක තිබිණි. මේ අතර දමිළ පුවත්පත් තුළ පොලිසියේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් දක්නට නොලැබුණු තරමි. තිනකුරල් සහ උදයන් මගින් සරලව පොලිස් බැටන් පොලු ප්‍රහාරය සහ කඳුලු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා කොට තිබිණි. එනමුත් වීරකේසරී සිරස්තලයක් මගින් පෙන්වා දී තිබුණේ, පොලිස් නිලධාරීන් සිවු දෙනකු හට තුවාල සිදුව ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂය මගින් අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම දමිළ පුවත් වාර්තාකරණය මගින් අවධාරණයෙන් සඳහන් කොට තිබුණත්, දේශපාලන විරෝධතා මැඩ පැවැත්වීම සම්බන්ධව විධායකයෙන් ලැබෙනා අධිකරණමය ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයන්ට අත පොවා නොතිබුණි.

තවදුරටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ සිංහල පුවත්පත් මත ප්‍රකාශයන් පොලිස් ප්‍රචණ්ඩත්වය, මාධ්‍ය නිදහස සහ යහපාලනය වැනි තේමාවන් වෙත ස්ථානගතව තිබුණද, වීරකේසරී මත දැක්වීමේ ලිපියකින් විමසා තිබුණේ මෙම විරෝධතාවය සැලකීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවත් සමගින් ඇති සබඳතාවය සහ මෙම විරෝධතාවය පසුපස ඇති වඩාත් පුළුල් දේශපාලන අදහස් සම්බන්ධවයි. විරෝධතාවය පැවැත්වුණු දිනයේදී නාමල් රාජපක්ෂ විසින් ට්විටර් පණිවුඩයකින් කියා තිබුණේ මෙම විරෝධතාවය “කිසිදු රටකට එරෙහිව නොවන බවත්, (මෙම) රජයට සහ එහි ප්‍රතිපත්තීන්ට එරෙහිව වන බවත්” ය. කෙසේ වුවත් මෙම මත දැක්වීමේ ලිපියෙන් නිරීක්ෂණය කොට තිබුණේ, මෙම  ප්‍රකාශය සමගින් වුවද මෙය ඉන්දියාවට එරෙහි විරෝධතාවයක් ලෙසින් දැකිය යුතු බවටයි. එසේම ඒ මගින් තදබල ලෙස පෙන්වා දී තිබූ කරුණක් වූයේ මෙම ඉන්දියානු විරෝධී ආස්ථානයකට පැමිණීමට දක්වන පැකිලීම මගින් පෙන්වා දෙන්නේ, රාජපක්ෂවරුන් ඉන්දියාවට සහ අසල්වාසී බලවන්තයාගෙන් දුරස්වීම සමගින් ලැබෙන දේශපාලන ප්‍රතිඵලයන්ට දක්වන බිය බවයි.

මත්තල ගුවන්තො‍ටුපල සංවර්ධනයට සහ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදෙන ලෙසින් ඉන්දියාවෙන් ලැබුණු යෝජනාව අධ්‍යයනය කිරීමට රජය තීරණය කොට මේ වනවිට මාස ගණනක් ගෙවී ඇත. කෙසේ වුවත් එතැන් සිට සිදුවී ඇත්තේ ඉතාම අවම ප්‍රගතියකි. එම නිසා උක්ත ලිපිය මගින් යෝජනා කරනා ආකාරයට – මෙම විරෝධතාවය පවත්වන්නට තීරණය කළ වේලාව සැලකිල්ලට ගැනීමේදී- මෙය වඩාත් නිවැරදිව සැලකිය හැක්කේ, ජනවාරි මාසයේදී පවත්වන්නට සැලසුම් කෙරී ඇති මහ මැතිවරණය පෙරදැරි කොට ගනිමින් ඒකාබද්ධ විපක්ෂය මගින් රජයට එරෙහිව ගෙන යන ව්‍යාපාරය තීව්‍ර කිරීමක් ලෙසින් බවයි. මෙම විරෝධතාවය යනු සිංහල ප්‍රජාව සාමාන්‍යයෙන් බිය දක්වන රටක් වන ඉන්දියාවට ජාතික සම්පත් විකුණන සහ පෞද්ගලීකරණය කරන දේශද්‍රෝහී ආණ්ඩුවක් ලෙසින් චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා පියවරක් ලෙසින් සැලකී තිබිණි.

දමිළ දේශපාලන සිරකරුවන්: දමිළ පුවත්පත් බලකිරීම

සති දෙකකට පෙර දමිළ දේශපාලන සිරකරුවන් තිදෙනකු විසින් මරණය තෙක් වන උපවාසයක් ආරම්භ කරන්නට යෙදුණේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඔවුන්ගේ නඩු වවුනියාව මහාධිකරණයේ සිට අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමට කටයුතු කිරීමෙන් පසුවයි. මෙය දමිළ නගර තුළ එක්සත් විරෝධතා දැක්වීම සහ උතුරු පළාතේ හර්තාල් පැවැත්වීම කරා දිගු විණි.

මෙම සිදුවීම් කෙරෙහි සතිය පුරාම දමිළ පුවත්පත් මගින් නිරන්තර ආවරණය ලබාදී තිබූ අතර, එයින් දේශපාලන සිරකරුවන් සම්බන්ධ ගැටළුව දමිළ පුවත්පත් තුළ වඩාත්ම පුළුල්ව වාර්තා කළ සිදුවීම බවට පත්වී තිබිණි. තමන්ගේ සති අන්ත දේශපාලන අතිරේකයන්හි මේ සම්බන්ධයෙන් වූ ලිපි කිහිපයකටම අමතරව, වීරකේසරී මගින් මෙම සතිය තුළ ඒ සම්බන්ධයෙන් කතුවැකි තුනක් ප්‍රකාශ කොට තිබිණි. එසේම වීරකේසරී, තිනකුරල් සහ උදයන් යන පුවත්පත් වල ඉරිදා මුද්‍රණ සියල්ලේම වූ කතුවැකි මගින් රජයෙන් බලකොට ඉල්ලා තිබුණේ වහාම යුහුසුළුව පියවර ගන්නා ලෙසටයි. කෙසේ වුවත් දමිළ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ගැටළුවට සිංහල පුවත්පත් තුළින් සැලකිය යුතු මට්ටමේ ආවරණයක් ලැබී නොතිබුණි.

දමිළ පුවත්පත් තුළ වූ මත දැක්වීම් හරහා තේමා තුනක් පැන නැගී තිබෙනු නිරීක්ෂණය විණි.

“ජාතිවාදය” කාටූන් අනුග්‍රහය: වීරකේසරී

දේශපාලන අභිප්‍රාය

පළමුව මෙම ගැටළුව රජය විසින් හඳුනාගත යුතු වන්නේ දේශපාලනික එකක් ලෙසින් විනා නෛතික ගැටළුවක් ලෙසින් නොවන බවට බලකොට පැවසී තිබිණි.  ප්‍රමුඛ පෙලේ දමිළ දිනපතා පුවත්පත් වල සති අන්ත දේශපාලන අතිරේක ගණනාවක් මගින්, මන්දෝත්සාහී ප්‍රගතිය පිළිබඳව නීති පද්ධතියේ වන පටිපාටිගත ප්‍රමාදයන්ට වරද පැටවීමේ රජයේ සම්මත ප්‍රතිචාරය හෙළා දැක තිබූ අතර, මෙම ගැටළුව දේශපාලන අභිප්‍රාය නොමැති වීම නිසා සිදුවන්නක් ලෙසින් හඳුනාගෙන තිබිණි.

දෙවනුව, අක්‍රියකාරී වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට දැඩිව විවේචන එල්ල වී තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් “දේශපාලන සිරකරුවන්ගේ අරගලය සහ දෙමළ ජාතික සන්ධානයේ උදාසීනත්වය” යන මැයෙන් සිරස්තල යෙදුණු තිනකුරල් ලිපියක් දැක්විය හැක. මෙම විවේචන සඳහා දේශපාලන ලියුම්කරුවන් විසින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් කො‍ටු කර තිබිණි.

තුන්වනුව, මේ සම්බන්ධයෙන් වන ප්‍රධාන පුද්ගලයා ලෙසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන දමිළ පුවත්පත් මගින් හඳුනාගෙන තිබූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශාල වශයෙන් මෙම සංවාදයෙන් අත් හැරී තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ඉරිදා වීරකේසරී කතුවැකිය මගින් ප්‍රකාශ කෙරී තිබුණේ මෙම ගැටළුව නිරාකරණය කිරීම ජනපතිගේ සදාචාරාත්මක වගකීමක් වන බවයි. පෙනෙනා ලෙසට දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් විශ්වාස කරන්නට යෙදී ඇත්තේ මෙම සිරකරුවන්ව නිදහස් කරගැනීම සඳහා වන ඉක්මන්ම ක්‍රමය වන්නේ විධායක ජනපතිගේ මැදිහත් වීම බවයි. මෙනිසා මෙම ලියුම්කරුවන් විසින් මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනපතිගේ ක්‍රියාකාරී බවක් නොමැති වීම සම්බන්ධයෙන් දැඩිව විවේචන එල්ල කරන්නට යෙදුණද, ඔහුගේ හොඳ හිත කෙරෙහි විශ්වාසය තබා තිබෙනා බවද නිරීක්ෂණය විණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top