එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ උගත් පාඩම් මියන්මාරයේ ‘පලක් ගෙන නෑ’

(සේයා: CBC)

දැවැන්ත ජන සංහාරයකින් කෙලවර වූ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජන ජීවිත සුරැකීමේ යුතුකම පැහැර හරින ලද බව අභ්‍යන්තර විමර්ශනයකින් හෙළිවිය. වාර්තාවෙන් “නිසි පාඩම් ඉගෙනගෙන විශේෂයෙන්ම සංවිධානයෙන් උදව් අයදින ගැටුම් වලට මැදිවූ ලෝකවාසී ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සදහා උපරිමයෙන් කටයුතු කරන,” බව වාර්තාව පිළිගනිමින් එවක මහලේකම් බැංකි මූන් ශපත කළේය. එයින් පස් අවුරුද්දකට පසු රෝහින්ග්‍යා වරුන්ට එරෙහි වාර්ගික ශුද්ධය ගැන එක්සත් ජාතීන් විසින් මියන්මාරයේ තම කාර්යභාරය සමාලෝචනය කරමින් කරන ලද අභ්‍යන්තර විමර්ශනයක නිගමනය වී  ඇත්තේ ජගත් සංවිධානය ජනතාව රැකීමේ තම වගකීම නැවතත් පැහැර හැර ඇති බවයි. එම වාර්තාවද සකස් කරන ලද්දේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව සම්පාදනය කල චාල්ස් පෙට්රි විසිනි. නිව්යෝර්ක් නුවර මුලස්ථාන කොටගත් CBC මාධ්‍ය ආයතනය විසින් ලබාගන්නා ලද එම වාර්තාවෙන් නාලා අයඩ් හා ස්ටෙෆනි ජෙන්සර් හෙළිදරව් කළ තොරතුරු ඇසුරින් මේ ලිපිය සම්පාදනය කළේ අභිෂේකා වාසලබණ්ඩාර.

 


 

ඇස් පනාපිට සිය සොහොයුරන් දෙදෙනා මරා දමන අයුරු 11 වියැති හෙදායත් උල්ලා දුටුවේය. භයානක සිහින ඔහු පෙළීමට පටන් ගත්තේ ඉන්පසුව බව හෙදායත්ගේ මව පවසන්නීය. නමුත් ඇත්තෙන්ම ඒවා පෙනීම ආරම්භ වූයේ  මින් දශක ගණනාවකට ඉහතදීය.

හෙදායත් උල්ලා දැඩි කම්පනයකට පත් කර බංග්ලාදේශ සරණාගත කඳවුරු වෙත පලවා හල අර්බුදය ආරම්භ වීමට බොහෝ කාලයකට පෙර, ඔහු සහ පවුලේ සියල්ලෝ මියන්මාරයේ උතුරු රඛයින් ප්‍රාන්තය තුල ගත කළේ වචනයෙන් විස්තර කළ නොහැකි ජීවිතයකි.

ඔවුන් ඇතුළු අනෙකුත් රෝහින්ග්‍යා මුස්ලිම් වරුන් විඳ දරාගත් වෙනස්කම් හා අපයෝජන නීතිඥයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන්  විසින් ද ඉතා හොඳින් ලේඛනගත කර ඇත.

මෙම හැසිරීම මානව වර්ගයාට එරෙහිව සිදු කරන අපරාධයක් සහ ජනවාර්ගික ශුද්ධයක් ගණයට අයත් විය හැකි බව ඔවුන්ගෙන් බොහොමයක් දෙනා අනතුරු අඟවා තිබුණි.

CBC පුවත් සේවය විසින් විමසා බැලූ අභ්‍යන්තර ලියවිලි සහ තවත්  මුලාශ්‍රවල කරුණුවලට අනුව රෝහින්ග්‍යවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මියන්මාරයට බලපෑම් එල්ල කිරීමට කැනේඩියානු ප්‍රධාන නිලධාරීන් ඇතුළු එක්සත් ජාතීන්ගේ බලධාරීන් කිහිප දෙනෙක් සහ අනෙකුත් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් මැලි වූ බව දක්නට ලැබේ.

ජනවාර්ගික ශුද්ධය පිළිබඳව පුර්ව අනතුරු ඇඟවීම් නොසලකා හල බව එක්සත් ජාතීන්ගේ සංවිධානය  තුල සිටින ඇතැම් බලධාරීන්ට චෝදනා එල්ල වේ.

“රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව සිදුවන මහා පරිමාණ, දරුණු ගනයේ සාපරාධී මට්ටමකට මෙම තත්වය වර්ධනය වූණා,” යැයි දීර්ඝ කාලීනව මියන්මාරයේ මානව හිමිකම් නීතිවේදියකු ලෙස ක්‍රියා කළ මැතිව් ස්මිත් පවසා තිබේ.”අවාසනාවන්ත දේ තමයි  ඇස් පනාපිට දකින්න තිබුන දේට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති වීම.”

ශ්‍රී ලංකාවේ මෙන්

එක්සත් ජාතීන් විසින් මෙම චෝදනාව එකහෙලා ප්‍රතික්ෂේප කරන අතර එක් අවස්ථාවකදී එය “පදනම් විරහිත සහ නිවැරදිතාවය තහවුරු කළ නොහැකි” මෙන්ම “මාධ්‍ය මඩ ව්‍යාපාරයක්” ලෙස ද  හුවා දැක්වීමට කටයුතු කර තිබුණි.

“නැවත නොවිය යුතු” මෙම සමයේ අත්වැරැදි, මිනිසුන් විශාල පිරිසකගේ ජිවිත අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේදී සහ රුවන්ඩාවේ දී එක්සත් ජාතීන් මුහුණ දුන් අසාර්ථකත්වය පිළිබඳ අසීරු සංසන්දනයකට පාර කියා දෙයි.

 

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා පිඩාවට පත් වැසියන් (සේයා: HRW)

 

මියන්මාර සිදුවීමේදී එක්සත් ජාතීන්ගේ සංගමය ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කිරීම සඳහා ඒවායින් බලපෑමක් ඇති කළ ආකාරයක් පෙනී යයි.

නමුත් එය උවමනා තරම් ඉක්මනින් සිදු නොවනු ඇතැයි විචාරකයෝ පවසති.

“යලිත් වතාවක් එක්සත් ජාතීන් එය අවුල් කරගන්නවා දකින්න මට ඕන නැහැ,” යැයි නම් සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙක් CBC පුවත් සේවයට පවසා තිබේ.

රෝහින්ග්‍යාවරුන්ට සැලකූ ආකාරය පිළිබඳව මියන්මාර රජය සමඟ කටයුතු කිරීමේදී මෘදු පිළිවෙතක් අනුගමනය කිරීමේ වගකිව යුතු පාර්ශවයන් බවට පත්වන්නේ එරට තුල මෙන්ම නිව්යෝක් නුවර සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රධානීන් බව ජගත් සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සංවර්ධනයද, මානව හිමිකම්ද?

මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරනවාට වඩා රෝහින්ග්‍යාවරුන්ගේ ඉරණම තවත් අන්ත අසරණ තත්වයට ඇද දැමීමට උපකාරී වූ ආර්ථික සංවර්ධනය කෙරෙහි මියන්මාර එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීන් වැඩි නැඹුරුවක් දැක්වූ බව ඔවුහු පවසති.

සම්පුර්ණයෙන් විදේශීය ආධාර මත යැපෙන්නට ඉඩ සලසමින්, දහස් ගණනක් හුදකලා අභ්‍යන්තර කඳවුරු තුල ගාල් කෙරුණු  2012  අර්බුදයෙන් පසුව වුව තත්වය ඒ අයුරින්ම පැවතුනි.

මානව සංහතියට සිදු කෙරෙන අපරාධයක් සහ වාර්ගික ශුද්ධයක් සිදු විය හැකි බවට ජාතීන්ගේ සංවිධානය තුලින්ම නැවත නැවතත් අනතුරු ඇඟවීම් කර තිබෙන පසුබිමක වුව තත්වයේ වෙනසක් නොවුණි.

2013-14 වකවානුවේ මියන්මාරයේ සේවය කළ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් නිලධාරී මයිකල්  ෂයික් පවසන්නේ “එය සක්‍රිය ප්‍රතික්ෂේප කිරීමක්,” බවය. ඔහු රඛයින් ප්‍රාන්තයේ නිරතුරුව සංචාරයේ යෙදුනු අයෙකි.

“ප්‍රධානීන්ට අවශ්‍ය වුණා මියන්මාරයේ හොඳ කතා පුවතක්. තමන් විසින් ආරක්ෂා කළ යුතු මිනිසුන් රැකගැනීමට වඩා රජයේ සබඳතාවයට ඔවුන් ප්‍රමුඛතාවය ලබා දුන්නා.”

මෑතකදී මෙම අර්බුදය දෙදරා යන තෙක්ම කටයුතු සිදු වුනේ මේ ආකාරයටය. ඉබි ගමනින් සිදු වූ ප්‍රවේශ වීම කඩිනම් කිරීම සඳහා මඟ පෑදුනේ පසුගිය වසත් සමයේදී මියන්මාරයේ එක්සත් ජාතින් වෙත යොමුකළ අභ්‍යන්තර වාර්තාවක් හේතුවෙනී.

“හදිසි අවශ්‍යතාවක්” ලෙස නිර්දේශය කරමින් දුන් වාර්තාවේ බුරුම රජය සමඟ ඇති සම්බන්ධතා නැවත සලකා බැලීම, වඩාත් එක්සත් සහ සෘජු උපාය මාර්ගයක් ක්‍රියාවට නැංවීම යන කරුණු ඇතුලත්ව තිබී ඇත.

නිහැඬියාව බිඳින්න

මියන්මාර රජය සමඟ ක්‍රියා කිරීමේදී “අසීරු මාතෘකා වලින් පලා නොයන ලෙසත් අවංක වන” ලෙසත් රිචඩ් හෝසේ නම් විශ්ලේෂකයා විසින් ජාතීන්ගේ සංවිධානයට උපදෙස් ලබා දී තිබේ.

“මානව හිමිකම් සහ ආරක්ෂණ කාර්යයේදී නිහඬතාවයක් නොතිබිය යුතුයි,” යනුවෙන් හොසේ පවසා ඇත.

“ඉදිරි මාස හයක කාලය” තුල ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් ඉහල යා හැකි බවට ද හොසේ අනතුරු අඟවා තිබුණි. රෝහින්ග්‍යා සටන්කාමීන්ගේ ප්‍රහාරයක් සහ එයට පිළිතුරු වශයෙන් දරුණු ප්‍රතිප්‍රහාරයක් බුරුම බලධාරීන්ගෙන් එල්ල විය හැකි බව එහි සඳහන්ව ඇත.

 

 

ඔහු නිවැරදිය. අගෝස්තු අවසාන භාගයේදී රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් හමුදාව ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කරන ලදී. එයට මියන්මාර දැක්වූ ප්‍රතිචාරය ඉතාමත් දරුණු එකක් විය.

හයලක්ෂයක් නික්මයාම

පහරදීම්, මරාදැමීම් සහ අපයෝජනයට ලක් කිරීම් මධ්‍යයේ එතැන් පටන් හය ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යා සරණාගතයන් බංග්ලාදේශය වෙත පලා ආහ.

හෙදායත් උල්ලා සහ ඔහුගේ පවුල මෙසේ නෙරපා දැමුවන්ගේ ගොඩට අයිති වේ. අනාරක්ෂිත බෝට්ටු ගමනකින් පසුව ඔවුන් බංග්ලාදේශය වෙත පැමිණ ඇත්තේ සුවිසල් සරණාගත කඳවුරක සරණ පතාගෙනය.

සමුල ඝාතන සිදුව ඇති බවටත්, මෑතකදී බංග්ලාදේශයට පැමිණි පිරිස මියන්මාරයෙන් පිටමන් කෙරෙන තත්වයට කටයුතු සලසා ඇති බවටත් දැන් දැන් ලකුණු පහළවෙමින් පවතී.

මෙම අර්බුදය “ජනවාර්ගික ශුද්ධයකට පෙළපොත් උදාහරණයක්” බව පැවසු එක්සත් ජාතීන්ගේ කාර්යාංශය දැන් ප්‍රකාශ කර සිටින්නේ මියන්මාර හමුදා මෙහෙයුම් සිදුකරන ලද්දේ අගෝස්තු 25 රෝහින්ග්‍යා කැරලි ප්‍රහාරයට කලින් බවත්, හමුදා විසින් ගම්බිම් විනාශ කිරීම හිතාමතා රෝහින්ග්‍යා වැසියන් සදහටම පලවා හැරීමේ අරමුණින් කරන ලද්දක් බවත් ය.

කවදාද ආයේ යන්නේ

“මම දන්නේ නැහැ ඇයි ඔවුන්ට අපි එලවා ගන්න අවශ්‍ය කියලා,” පටු අධිවේගී මාර්ගයක එක් පසෙක තැනූ, හුස්ම ගැනීමට පවා නොහැකිව ඉඩකඩ ඇහිරුණු කුඩාරමක් තුල වාඩිවී සිටින හෙදායත්ගේ මව හසිනා බෙගම් පවසන්නීය. අන් කවරකටත් වඩා ඇගේ හිත තුල පැලපදියම්ව ඇත්තේ සියලු දෙනාටම කවදා හෝ නැවත එහි යාමට හැකි වේවි යන බලාපොරොත්තුව ය.

 

11 වියැති හෙදායත් උල්ලා (සේයා: CBC)

 

උපදේශන සමාගමක් විසින් 2015 දී එක්සත් ජාතින් සඳහා ඇගයීමක් ලබා දී තිබුණි. එය නම් කොට තිබුනේ ලෙස්සන සුලු පල්ලම: වින්දිතයන්ට උපකාර ද, අපයෝජක ආණ්ඩුවකට උදව් ද? යනුවෙනි.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් “කඳවුරු පවත්වාගෙන යෑම අනුමත කිරීම” සහ “කිසිදු සාධනීය වෙනස්කමකින් තොරව මියන්මාරය තුල රෝහින්ග්‍යාවරු සිරගතව සිටීම” මගින් අර්බුදය පිළිබඳව ජාත්‍යන්තරයේ වත්මන් ප්‍රවේශයේ ඇති පලවිපාක පිළිබඳව CBC මාධ්‍ය ආයතනය සතුව ඇති එම වාර්තාව මඟින් අවබෝධයක් ලබා දෙයි.

“රතු ඉර දැනටමත් පැනලා,” එහි සඳහන්ව ඇත. “රජය විසින් පනවන ඕනෑම කොන්දේසියක් සම්පුර්ණයෙන්ම පාහේ පිළිගනිමින්, සෑම ආයතනයක්ම තවමත් එහි ලැග ඉන්නවා.”

සමහර පුද්ගලයන් වරද පටවන්නේ මියන්මාරයේ  එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නිලධාරිනිය වූ නේවාසික සම්බන්ධිකාරිකා, කැනේඩියානු ජාතික රෙනටා ලොක් දෙසලියන් හටය.

 

නේවාසික සම්බන්ධිකාරිකා, කැනේඩියානු ජාතික රෙනටා ලොක් දෙසලියන් (සේයා: CBC)

 

මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවාට වඩා ආර්ථික සංවර්ධනය කෙරෙහි ඇය වැඩි අවධානය යොමු කරන බව ඔවුහු පවසති.

තහනම් වචනය ‘රෝහින්ග්‍යා’

මියන්මාර රජයට ගෞරවයක් පිණිස රෝහින්ග්‍යා යන වචනය පවා එක්සත් ජාතීන්ගේ ලිපි ගොනු වලින් තහනම් කිරීමට ඇය කටයුතු කර ඇති බව තොරතුරු මුලාශ්‍ර දෙකක් පවසයි. කෙසේ වෙතත් එම චෝදනාව හෙලා දකින ඇගේ කාර්යාල මාධ්‍ය ප්‍රකාශකයකු පවසන්නේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි.

ජනමාධ්‍ය මඩ

CBC සම්මුඛ සාකච්ඡාවක් සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඇගේ මාධ්‍ය ප්‍රකාශකයා විද්‍යුත් තැපෑල මඟින් ගැටලුවලට පිළිතුර ලබා දීමට කටයුතු කර තිබේ. ඇගේ විවේචකයන් විසින් “ඇයට එරෙහිව පදනමකින් තොර සහ අසත්‍ය මාධ්‍ය මඩ ව්‍යාපාරයක්” ගෙන යන බව ඔහුගේ ප්‍රතිචාරයයි.

පසුගිය මසදී රෝහින්ග්‍යා අර්බුදය උත්සන්න වීමත් සමඟ චෝදනා සම්බන්ධයෙන් කතා කිරීමට එක්සත් ජාතීන්ට සිදු විය. සංවිධානය පෙනී සිටියේ ලොක් දෙසලියන් වෙනුවෙනි.

“ඇය මානව හිමිකම් සහ සංවර්ධනය වෙනුවෙන් ඉතා ප්‍රබල හඬක් ඉදිරිපත් කළා,” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් දුජරික් පැවසිය.

ඇයට එල්ල වී ඇති සමහර චෝදනා වසර ගණනක් ඈතට දිව යයි. රෝහින්ග්‍යාවරුන්ගේ ඉරණම පිළිබඳ අනතුරු ඇඟවූ කෙටි අභ්‍යන්තර සාකච්ඡාවක් මඟ හැරීමෙන් “එකී අවස්ථාවේ තිබු බරපතලකම මායිම් නොකර පහසුවෙන් තොරතුරු නොසලකා හැරීම හෝ ඉවත දැමීම සිදුකර ඇතැ,” යි එක්සත් ජාතීන්ගේ ඉහල පෙලේ නිලධාරීන් අතර බෙදා හරින ලද ජ්‍යෙෂ්ඨයකුගේ සේවය නිම කිරීම පිලිබඳ වාර්තාවක සඳහන්ව තිබුණි.

2017 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත ලියන ලද වාර්තාවකට අනුව මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරිත්වය “කැපී පෙනෙන ලෙස දුර්වල” බව හුවා දක්වයි. එසේම මානුෂිය අංශය සහ සංවර්ධන අංශය අතර “දැඩි ආතතියක්” හටගෙන ඇති බව එමඟින් පෙන්වා දී තිබේ. “ඒ අතර මානව හිමිකම් අංශය තත්වය වඩාත් සංකීර්ණ කරවන” බව එහි දක්වා ඇත.

“එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාරයේ සමස්ත ප්‍රතිචාරය සහතික කිරීමට ඉහල පාර්ශවයන් වගකීමක් නොදැරීම,” නිසා ගැටලුව සංකීර්ණ වී ඇති බව වාර්තාවේ සඳහන්ය.

වාර්තාවේ රචක චාර්ල්ස් පෙට්‍රි පවසන්නේ ගැටලුව පෞද්ගලික ස්වරුපයක් නොගෙන වඩාත් ආයතනික ස්වරූපයක් ගන්නා බවයි: මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ මහ පුටු දේශපාලනික නොවේ. නමුත් එය එසේ විය යුතු බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවෙන් නූගත් පාඩම්

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී නිරායුද ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර  පරීක්ෂණයක් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ එවක මහ ලේකම් බැංකි මූන් විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල විශේෂඥ මණ්ඩලයේ ප්‍රධානියා වූයේද චාර්ල්ස් පෙට්රි ය.

අට මාසයක් තිස්සේ කරන ලද විමර්ශනයක් අවසානයේ  2012 නොවැම්බරයේ දී මහලේකම්වරයාට දෙන ලද වාර්තාවේ නිගමනය වුනේ දසදහස් සංඛ්‍යාත ජන ජීවිත විනාශවූ යුද්ධයේ අවසාන භාගයේදී ඔවුන් ගලවාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසි පියවර නොගත් බවය.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව චාල්ස් පෙට්‍රි විසින් එවක මහ ලේකම් බැංකි මූන් වෙත ලබා දෙමින්

“සිය වගකීම ඉටු කිරීමට එක්සත් ජාතීන් අසමත් විය,” යයි පවසමින් මහලේකම් බැංකි මුන් වරද පිළිගත්තේය.

එහෙත් එක්සත් ජාතීන් එයින් පාඩමක් ගත් බවක් නොපෙනේ.

මියන්මාරයේ උද්ගත වූයේද දැවැන්ත මනුෂ්‍ය ඝාතන සිදුවූ ශ්‍රී ලංකාවේ සහ රුවන්ඩා අර්බුදවලදී  හා සමාන තත්වයක් බව  චාල්ස් පෙට්‍රි පවසයි.

“රට පිළිබඳව එක්සත් ජාතීන් නිකුත් කෙරෙන ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් සියලු අංශ ආවරණය වන පරිදි අධීක්ෂණයක් ඉහල සිටින පුද්ගලයාට නොතිබුණි නම් එය සෑම විටම අක්‍රිය එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වනු ඇත.”

අර්බුදය උත්සන්නව ඇති මෙවන් අවස්ථාවක මියන්මාරය තුල සීග්‍ර වෙනස්කම් සිදු කිරීමට එක්සත්  ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව දක්නට ලැබේ. මෙම මස අවසානයේදී රටින් පිටවන බව ලොක් දෙසලියන් මිට පෙර නිවේදනය කර තිබුණි. හිස්වන තනතුර සඳහා කිසිවෙක් මෙතෙක් නම් කර නැත. තනතුර සංශෝධනය කිරීමට ද ඉඩ ඇත.

ජාත්‍යන්තර වගකීම සහ සුචී

අර්බුදයේ වැඩි වගකීමක් මියන්මාර රජය සතු බවට  මානව හිමිකම් නිරීක්ෂකයෝ එකඟ වෙති. නමුත් ඒ වෙනුවෙන් හඬක් නැඟීම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද වගකීමක් බව මානව හිමිකම් නීතිවේදී මැතිව් ස්මිත් පවසයි.

 

මියන්මාර පාලක පක්ෂ නායිකා අවුං සාං සුචී

 

“රඛයින් ප්‍රාන්තයේ සිදු වූ දේට ජාත්‍යන්තර ප්‍රජාවගේ ද සම්බන්ධයක් ඇති බව පැවසීම සාධාරණ බව මෙම අවස්ථාවේදී මම හිතනවා.”

“මියන්මාරයේ වැඩ කිරීම ඉතා අපහසු බව අපට වැටහෙනවා.  නමුත් විශාල ජන සංහාරයක් ගැන අපි කතා කරනවිට, ජනතාවට සිදු කළ හැකි බරපතලම අපරාධය ගැන කතා කරනවිට බලපෑම් කළ යුතුයි. ඇත්ත කතා කළ යුතුයි. නැතිනම් මේවා දිගටම සිදු වේවි.”

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක පොරොන්දු දෙමින් ඉහල නැගුනු අවුං සාං සුචී සමග ජාත්‍යන්තර බලවතුන් ගෙනයන ගනුදෙනුව තත්වය වඩාත් සංකීර්ණ කර ඇත.

“දේශපාලන අවකාශයක් විවර වීම මගින් එලියට එන්නේ සමාජයේ යහපත පමණක් නොවෙයි කියලා පිළිගන්න බටහිර සුදානම් නැතුවා වාගෙයි.” යනුවෙන් චාල්ස් පෙට්රි පවසයි.

අනතුරු ඇඟවීම් කෙරුනු විටදී මහලේකම් ඇන්ටෝනියෝ ගුතරෙස් ගේ උපදේශය වුයේ “අපි පොඩ්ඩක් සද්ද නැතිව ඉම්මු,” යන්න වූ බව තතුදත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් උපුටා දක්වන CBC පවසයි.

 

Related posts

Comments are closed.

Top