ශ්‍රී ලංකාවට තවත් යුද පුහුණුව ලබා දීමට අගමැති මෝඩි සහතික වෙයි  

Ranil Modi 2

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දු ලංකා අගමැතිවරුන් විසින් අවධාරණය කෙරුණු අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන හමුදා පුහුණුව තවත් පුළුල් කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහතික විය.

ධුරයට පත්වී මුල්ම නිල සංචාරයේ යෙදෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අද නවදිල්ලියේ දී මාධ්‍යවේදීන් ඇමතූ අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශ කළේ දෙරටේ ආරක්ෂක සහයෝගිතාව තවත් දැඩි කිරීමට තමන් දෙපල අතර ඇති කැපවීම යලිත් තහවුරු කෙරුනු බවයි.

යුද පුහුණුව සම්බන්ධයෙන් ඉන්දියාව වඩාත් සහයෝගයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව සමග බව අගමැති මෝඩි සිහිපත් කර දුන්නේය.

දෙරටේ සන්නද්ධ හමුදා සහ පොලිසිය හවුලේ කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් තමන් සාකච්ඡා කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

‘ත්‍රස්තවාදය ට එරෙහිව සටන් වැදීමටත් ඉන්දීය සාගර  කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය තහවුරු කිරීමටත්,’ කැපවීම සඳහා ඇති එකඟතාව අගමැති වරුන් දෙදෙනාම විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේ ‘කලාපයේ සාමය හා ස්ථාවර භාවය අපේ සාර්ථකත්වයේ යතුරයි,’ යනුවෙනි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා සාමාජිකයන්ට ඉන්දීය භූමියේ පුහුණුව ලබාදීම තමිල්නාඩු දේශපාලකයන් සහ සංවිධාන කිහිපයකම විරෝධයට හේතු වුවකි.

RAnil Susma Mangala

ජිනීවා ‘ජයග්‍රහණය’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී මෙවර ශ්‍රී ලංකාවට වාසිදායක ප්‍රතිපලයක් අත්වනු ඇති බවට  ශ්‍රී ලංකාවේ අගමැති වරයා නවදිල්ලියේදී විශ්වාසය පල කළේය.

එය “මානව හිමිකම් සම්බන්ධ කාරනා සමනය කිරීමටත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සමසේ සලකන සංහිඳියාවකටත්,” මග පාදනු ඇතැයි කී අගමැති වික්‍රමසිංහ “අපි ස්ථිර වශයෙන්ම අපේ අතීතය දෙස බලන්නෙමු, එහෙත් අනාගතය දෙස බලන්නේ එක්වය,’ යි පැවසීය.

ඒකීය රාජ්‍යය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳුදා ජිනීවාහිදී ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වෙනුවෙන්  දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවයි.

කෙසේ වෙතත්,  අගමැති වික්‍රමසිංහ අද දිල්ලියේදී  මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ  ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාව තුලම බලය බෙදීම සහ බලය විමධ්‍යගත කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලුම දෙමළ දේශපාලන පක්ෂ මැතිවරණයේ දී ජනවරමක් ඉල්ලා සිටියේ පෙඩරල් පන්නයේ බලය විමධ්‍යගත කිරීම වෙනුවෙනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ‘පසුගිය වතාවේ ශ්‍රී ලංකාවට සහය නොදුන් රටවල් සියල්ලම පාහේ මෙවර ශ්‍රී ලංකාවට සහය ලබා දීමට ඉදිරිපත් වීම විශේෂ සිද්ධියක් බව ද, එය ශ්‍රී ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව ද’ ඉන්දීය සංචාරයට  එක්වී සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දුන් බව අද අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරණ ලද නිවේදනයක දැක්වෙයි.

‘ධීවර ප්‍රශ්නය’

අගමැති දෙපල ‘ධීවර ප්‍රශ්නය’ පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන් කළ නරේන්ද්‍ර මෝඩි විසඳුමක් සොයා ගැනීම සඳහා දෙරටේ ධීවර සංවිධාන දිගටම එක්ව වීරිය කළ යුතුය යන්නට දෙදෙනාම එකඟ වූ බවද පැවසීය.

වෙළඳ, ආර්ථික, ආයෝජන හා තාක්‍ෂණ ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නව ගිවිසුමක් සකස් කිරීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කොට තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ‘මෙම ගිවිසුමෙහි මූලික කෙටුම් පත ලබන දෙසැම්බර් වෙද්දී සකස් කෙරෙන අතර, එය පදනම් කරගෙන සිදු කෙරෙන සාකච්ඡා මාලාවකින් අනතුරුව 2016 වසරේ මැද භාගයේදී එය අත්සන් කිරීමට ද කාල පරාස නියම කර ගන්නා ලදී’.

 

 

 

 

Related posts

Comments are closed.

Top