සකල සරණාගතයන්ගේ වගකීම් බාරගන්නා ලෙස PNG ඔස්ට්‍රේලියාවට අනතුරු අඟවයි

 

පැපුවා නිව් ගිනීයා හි පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන වසා දැමුණු පසු රටෙහි නැවත පදිංචි වීමට අකැමැති සියලු සරණාගතයන්ගේ වගකීම හුදෙක් ඕස්ට්‍රේලියාව විසින්ම බාරගත යුතු බව පැපුවා නිව් ගිනීයාව අනතුරු අඟවා තිබේ.

නෛතික, මුල්‍යමය සහ සදාචාරාත්මක වශයෙන් ඕස්ට්‍රේලියාව මේ සඳහා වගකිව යුතු බව එරට ආගමන විගමන සහ දේශසීමා ආරක්ෂක කටයුතු අමාත්‍ය පෙට්‍රස් තෝමස් විසින් 29 ඉරිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වී ඇත.

දේශපාලන රැකවරණය පතා බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් 2012 සිට රඳවා තැබෙන්නේ පැපුවා නිව් ගිනියාවට අයත් මානුස් දිවයින සහ නාවුරු දිවයිනෙහි ය.

සංක්‍රමණිකයන් මෙසේ රඳවා තැබීම නීති විරෝධී බව සඳහන් කරමින් ඕස්ට්‍රේලියා අධිකරණයක් විසින් ලබා දුන් තීන්දුව අනුව මෙම කඳවුර 31 අඟහරුවාදා වසා දැමීමට නියමිතය.

සරණාගතයන්ගේ අකමැත්ත පිට සිය රටෙහි නවතා ගැනීමට බල නොකෙරෙන බව පැපුවා නිව් ගිනීයාව පවසයි.

“මේ සැලැස්ම අනුව එක් පුද්ගලයකු හෝ මෙහි රැඳී සිටින තාක් කල් ඔස්ට්‍රේලියාව මුල්‍යමය වශයෙන් සහ වෙනත් සහයෝගයන් ලබා දිය යුතු බව අපේ ස්ථාවරයයි. අන්තිම පුද්ගලයා ද පැපුවා නිව් ගිනීයා වලින් පිටවන තුරු හෝ ස්වාධින වශයෙන් මෙහිම නැවත පදිංචි වනතුරු ඔවුන් සැලැස්ම අනුව ක්‍රියා කළ යුතුයි,” යනුවෙන් අමාත්‍ය පෙට්‍රස් තෝමස් පවසා තිබේ.

රැඳවුම් කඳවුර වසා දැමුණු පසු ඉතිරිව සිටින පිරිසෙන් පැපුවා නිව් ගිනියාවේ පදිංචියට අකැමැති පුද්ගලයන් සහ රට තුල සිටීමට කැමැති නමුත් සරණාගතයන් ලෙස නම් නොකළ පුද්ගලයන් පිළිබඳව සිය රජය සලකා බලන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා රජය ස්ථිර වශයෙන් ප්‍රකාශ කර සිටින්නේ තමන් කිසිවකු භාර නොගන්නා බවයි.

බහුතරයක් සරණාගතයන් ලෙස සැලකෙන පුද්ගලයන් 770 කට ආසන්න සංඛ්‍යාවක් මානුස් දිවයිනෙහි සිටින බව රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානයක් ගණන් බලා තිබේ. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා කඳවුරු ගතව විසීමට අකැමැති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී ඇත.

Related posts

Comments are closed.

Top