මානුස් දිවයිනේ සරණාගතයෝ වතුර හොයා ළිං හාරති

 

පැපුවා නිව් ගිනියා මානුස් දුපතේ පිහිටි ඕස්ට්‍රේලියානු අනවසර සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය නිල වශයෙන් වසා දමා දින දෙකක් ගතවූ තැන ක්‍රමයෙන් උග්‍ර වන පානීය ජල අර්බුදයට පිළියමක් වශයෙන් පිරිසිදු ජලය සොයා කඳවුරු භුමිය තුල තමන් ළිං කණිමින් සිටින බව ඉන් පිටව යාම ප්‍රතික්ෂේප කරන සරණාගතයෝ පවසති.

පිටතට ගිය පසු සිය  ජීවිතාරක්ෂාවට තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් 600 ක් පමණ අනාථයන් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්ෂේප කර තිබේ.

සරණාගත කඳවුරක් පවත්වාගෙන යාම නීති විරෝධී බව සඳහන් අධිකරණ තීන්දුවක් ලැබීමෙන් අනතුරුව මානුස් දිවයිනේ පිහිටි මෙම ස්ථානය වසා දැමුණේ ඔක්තෝබර් 31 වැනිදාය.

එදින පටන් රැඳවියන්ට ජලය, විදුලිබලය, කැසිකිලි පහසුකම් සහ ආහාර ආදිය සැපයීම නවතා දමා ඇත.

හිමිවිය යුතු මුලික පහසුකම් නවතා දැමීමට කටයුතු කිරීමෙන් තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද 31 අඟහරුවාදා ඔවුන් කටයුතු කර තිබුනි.

නවසිලන්ත යෝජනාව ඉවතට

උද්ගතව ඇති මෙම අර්බුදකාරී වාතාවරණය මත මානුස් සහ නාවුරු දුපත්හි කඳවුරු ගතව සිටින දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් 150 දෙනකු පමණ භාර ගැනීමට නවසීලන්තය නැවතත් සිය කැමැත්ත පල කර ඇත.

නමුත් ඔස්ට්‍රේලියාව මෙවරද ඔවුන්ගේ යෝජනාව ඉවත දමා තිබේ.

මින් පෙර එම යෝජනාව ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුනේ 2013 දිය.

සරණාගතයන් මාරු කර යැවීමට නියමිතව තිබු සමහර විකල්ප වාසස්ථාන තවමත් සුදානම් කොට නොමැති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය පවසා තිබුණි.

ළිං හාරනවා

“අපි කිහිප වතාවක්ම පිටතදී ප්‍රහාරයට ලක් වුණා,” යැයි 2014 අගෝස්තු මස සිට මානුස් දුපතෙහි රැඳවියකු වන ඉරාන ලේඛක බෙහෙරුස් බුචානි ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

එසේම සරණාගතයන් විශාල ප්‍රමාණයක් මානසිකව සහ කායිකව දුබල මට්ටමකට පත් වී ඇතැයි ඔහු අවධාරණය කරයි.

“සරණාගතයන් වතුර සොයමින් පොළව හාරනවා. මෙය නිවර්තන කලාපයක් ඒ නිසා මිනිස්සු හිතනවා ඔවුන්ට පිරිසිදු ජලය ලබා ගත හැකි වේවි කියලා.”

 

හදිසි තත්වයක්

මේ වනවිට මානුස් දිවයිනේ නිරීක්ෂණයේ නිරත වී සිටින ඕස්ට්‍රේලියානු සෙනට් සභික නික් මැක්කිම් පවසා සිටින්නේ “මානුෂිය වශයෙන් හදිසි තත්වයක්” උද්ගතව ඇති බවයි.

“ඔවුන් ලුණු සහ සීනි ගබඩා කර ගෙන සිටිනවා. ඔවුන් සතුව ඇති ආහාර ප්‍රමාණය ඉවර වුනොත් කවරාකාරයෙන් හෝ ඔවුන්ට සොයාගැනීමට හැකිවන ජලය සමඟ ලුණු හෝ සීනි මිශ්‍ර කර පානය කිරීමෙන් දිවි ගලවා ගැනීමට උත්සහ කරාවි.”

කෙසේ වෙතත් තමන්ගේ වගකීම එකිනෙකාගේ කර මත පටවන ඕස්ට්‍රේලියා සහ පැපුවා නිව් ගිනියා පාලන තන්ත්‍ර දිගින් දිගටම කියා සිටින්නේ සරණාගතයන්ගේ වගකීම තමන් නොවේ අනෙකා දැරිය යුතු බවයි.

Related posts

Comments are closed.

Top