GSP+ දුන්නත් ශ්‍රී ලංකාවේ ගමන හිතුවාට වඩා හෙමින්: යුරෝපා සංගමය | VIDEO

බදු සහන සලසා දීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම ඇතුළු මානව හිමිකම් ක්ෂේත්‍රයේ පොරොන්දු ඉටුකිරීමට අසමත් වීම පිළිබඳව යුරෝපා සංගමය නොසතුට පල කර තිබේ.

යුරෝපයට  භාණ්ඩ අපනයනයට එරෙහිව හත් අවුරුද්දක් තිස්සේ පනවා තිබූ තහංචි ඉවත් කරමින් අපේක්ෂා කළ ප්‍රගතිය අත් කරගෙන නැතැයි යුරෝපා සංගමයේ දකුණු ආසියාව බාර ඉහල පෙලේ නියෝජිත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් හමාරයේ ප්‍රකාශ කර සිටියේය.

යුරෝපා මන්ත්‍රීවරුන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ  මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) මේ වසරේ මැයි මාසයේදී නැවත ප්‍රදානය කිරීමෙන් අනතුරුව අත් කරගෙන තිබෙන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහායි.

“මුලින් බලාපොරොත්තු වූ තරමට වඩා අත් කරගෙන තිබෙන ප්‍රගතිය මන්දගාමී වීම ගැන මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූ,” බව සංචාරය හමාරයේ නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ත්‍රස්ත පනත

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත්කොට ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන අණපනත් සම්පාදනය කරන බවට 2016 දී තමන් කොළඹ ආ අවස්ථාවේ අගමැති වරයා ඇතුළු ආණ්ඩුවේ ඉහලම තැන්වලින් ලැබුණු පොරොන්දු ඉටුවී නැති බවට නියෝජිත පිරිසේ නායිකා ජීන් ලැම්බර්ට් මාධ්‍යවේදීන් හමුවේ කනස්සල්ල පල කළාය.

“ඒක කෙරෙනවා කියලා අපිට කිව්ව හින්දා අපි බලාපොරොත්තු වූ ඉක්මන් වෙනස වෙලා නෑ,” යි ජීන් ලැම්බර්ට් මන්ත්‍රීවරිය කියා සිටියාය. “අයවැය වැඩ කටයුතු ඉවර වුනාම මේ නීතිය වෙනස් කරන්න පාර්ලිමේන්තුව පියවර ගනීවි කියා අපි විශ්වාස කරනවා.”

කෙසේ වෙතත්, අනාගත ප්‍රගතිය සඳහා පදනමක් සකස් වී ඇති බවට විශ්වාසය පලකළ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සහ සහතික කිරීම ඉලක්ක කරගෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡා පෙරට ගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.

අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීම ගැන සතුට පලකළ යුරෝපා මන්ත්‍රී කණ්ඩායම ජාතික සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කර නොගැනීම ගැන අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවට GSP+ වරණීය බදු සහනය ලබා දීමේ ප්‍රධාන කොන්දේසි වූයේ මානව හිමිකම්, යහපාලනය, කම්කරු අයිතිවාසිකම් සහ පරිසරය යන ක්ෂේත්‍ර වල ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාවේ යෙදවීම යැයි රජයට පැහැදිලි කර දුන් බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර ඇත.

Related posts

Comments are closed.

Top