PNG අධිකරණය ඕස්ට්‍රේලියානු සරණාගතයන්ගේ ඉල්ලීම් ඉවත දමයි

 

මානුස් දිවයිනේ වසාදමන ලද ඕස්ට්‍රේලියානු  සංක්‍රමණික රැඳවුම් කඳවුර වෙත නැවත මුලික පහසුකම් ලබා දෙන මෙන් සරණාගතයන් විසින් කළ ඉල්ලීම පැපුවා නිව් ගිනියා ශ්‍රේෂ්ටාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔක්තෝබර් 31 වැනිදා වසා දැමුණු සරණාගත කඳවුරෙහි 600 ක් පමණ රැඳවියෝ ජලය, ආහාර සහ විදුලි බලය නොමැතිව සතියක පමණ කාලයක් පිඩා විඳිති.

දේශපාලන රැකවරණය අපේක්ෂා කරන්නන්ගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇතැයි පැපුවා නිව් ගිනියා ශ්‍රේෂ්ටාධිකරණය මින් පෙර පිළිගෙන තිබුණි.

කෙසේ නමුත් එම පුද්ගලයන් වෙනුවෙන් විකල්ප වාසස්ථාන සපයා ඇති බැවින් වසා දැමු කඳවුර වෙත මුලික සේවා සැපයීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණේ සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ග්‍රෙග් බාන්ස් ඇතුළු නීතිවේදීන් පිරිසක් විසින් ඔක්තෝබර් 31 වැනිදා ඉදිරිපත් කළ ඉල්ලීමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ය.

PNG  වැසියන් පහර දීමට හැකි නිසා සිය ජීවිත  ආරක්ෂාවට තර්ජන එල්ල වන්නේ යැයි පවසමින් නව රැඳවුම් ස්ථාන වෙත මාරු කර යැවීමට එරෙහිව සරණාගතයන් විසින් දිගින් දිගටම විරෝධය පල කර තිබේ.

එසේම එම නවාතැන් පදිංචි වීමට තරම් සුදුසු මට්ටමක නොමැති බව මානව හිමිකම් සංවිධාන විසින් ද අවධාරණය කර තිබුණි.

 

 

දැන් බය වෙන්න දෙයක් නැහැ

මධ්‍යස්ථානය වසා දැමුණු කාල වකවානුව ආසන්නයේ එවැනි බියක් පැවතුන ද මේ වනවිට බියවීමට කරුණක් නොමැති බව අධිකරණය ප්‍රකාශ කරයි.

අලුත් වාසස්ථාන වෙත ස්වේච්ඡාවෙන්ම  යොමු නොවීමට තරම් හේතුවක් නැහැ,” යැයි උසාවිය ලබා දුන් තීන්දුවේ සඳහන් වී ඇත.

කෙසේ නමුත් සරණාගතයන්ගේ සුභ සාධනය සඳහා පැපුවා නිව් ගිනියා රජය වගකීම දැරිය යුතු බව එහි සඳහන් වී තිබේ.

කඳවුර වසා දමන තාක් කල් සරණාගතයන්ගේ අනාගත සුභසාධනය වෙනුවෙන් නීතිමය වගකීම ඔස්ට්‍රේලියාව දැරූ අතර ඉන් පසුව ඔවුන්ගේ අනාගතය පිළිබඳ සම්පුර්ණ වගකීම සෘජුවම පැපුවා නිව් ගිනියා රජයේ කර මත වැටි ඇත,” යනුවෙන් අධිකරණය ප්‍රකාශ කර ඇත.

දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් සහ සරණාගතයන් වෙනුවෙන් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කෙරෙන බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය අවධාරණය කර තිබුණි.

දේශපාලන රැකවරණය පතා බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් 2012 සිට රඳවා තැබෙන්නේ පැපුවා නිව් ගිනියාවට අයත් මානුස් දිවයින සහ ශාන්තිකර  දුපතක් වන නාවුරු හි ය.

 

Related posts

Comments are closed.

Top