“යහපාලනය මාධ්‍ය මර්දනයේ” වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

තමන්ට මඩ ගැසීම සඳහා වෙබ් අඩවි නඩත්තු කරන බවට ජනාධිපතිවරයා නම් නොකළ මැති ඇමැති වරුන්ට බරපතල චෝදනාවක් එල්ල කිරීමත් සමගම ලංකා ඊ නිවුස්  වෙබ් අඩවියට ශ්‍රී  ලංකා ටෙලිකොම් අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් පිවිසීමට නොහැකි වන සේ තහනම් කර තිබීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් හෙළා දැක තිබේ.
එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කරන්නේ මාධ්‍ය  නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි මර්දනයක් ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නක් බවත්ය.
එසේම  www.lankaenews.com වෙබ් අඩවිය වාරණයට ලක් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බවට  විශ්වාසවන්ත ආරංචි මාර්ග මඟින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙත වාර්තාවී ඇති බව සභාපති ලසන්ත රුහුණගේ සහ ලේකම්  දුමින්ද සම්පත් ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනපති සහෝදරයා
මෙම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ බවත්, ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ බවත් පෙන්වා  දෙන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,  ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම පිළිබඳ ආණ්ඩුව වහා ප්‍රකාශයක්  සිදු කළ යුතු බව අවධාරණය කර සිටියි.
තම වෙබ් අඩවියට ලබා දී තිබූ වෙළෙඳ දැන්වීම්ද   ජනපති අණින් අත්හිටුවා ඇතැයි ලංකා ඊ නිව්ස් පවසයි.
“වාරණයට පෙර ජනාධිපතිවරයා සහ මහාරාජා සමාගම එක්ව රුසියාවෙන් යුද නැවක් මිලට ගැනීමට යෑමේ ‘ඩීල් එක‘ සම්බන්ධයෙන් තොරතුරු ලංකා ඊ නිව්ස් විසින් අනාවරණය කිරීමෙන් පසුව ලංකා ඊ නිව්ස් වෙත දැන්වීම් සැපයූ ආයතන වෙත කතා කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීහු එකී දැන්වීම් නතර කර දමන්නැයි නියෝග කළහ,” යනුවෙන් එම වෙබ් අඩවියේ පල කර ඇත.

අන්තර්ජාල වාරණයට එරෙහි ඕපන් ඔබ්සර්වේටරි නිරීක්ෂණය ලංකා ඊ නිව්ස් අඩස්සි කර ඇති බව තහවුරු කරයි

විවේචනයට බයද? 
ආණ්ඩුවක් විවේචනයට බිය විය යුත්තේ තමන් අත වැරදි ඇත්නම් පමණක් බවත්, එසේ නොවන්නේ නම් එකී විවේචනවලට පිළිතුරු දීමේ අයිතිය  ඕනෑම මාධ්‍ය  ආයතනයක් විසින් සහතික කර තිබෙන බවට සිය නිවේදනයෙන් සඳහන් කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විචේනවලට පිළිතුරු දීම වෙනුවට මර්දනයට  කැස කැවීම යහපාලන රජයකට නොවටිනා දෙයක් බව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුව නිමිත්තෙන් බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ම කොටස්කරුවන් ට චෝදනා කළේ තමන්ට ‘මඩ ගැසීම’ වෙනුවෙන් විදේශ වල සිට ක්‍රියාත්මක වන විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මුදල් යොදවන බවටයි.
ලංකා ඊ නිවුස්ට ශ්‍රී ලංකාවේ  වාරණයක්  පැනවුනේ එදිනමය.
වාරණය වහා ඉවත් කරන ලෙසත් මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාර අමාත්‍යවරයාගෙන්  එම සංගමය  වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මෙම පියවර යහපාලන ආණ්ඩුව මාධ්‍ය  මර්දනය  වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර නොවන අතර මීට පෙර රාජ්‍ය  නිලධාරීන්, ආරක්ෂක අංශ සහ දේශපාලනඥයන් මාධ්‍ය  නිදහසට කළ බලපෑමට සිය සංගමය විටින් විට විරෝධය පළ කළ බවත්  පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාරණයට ලක් වූ අතර එකී ආයතනයට ගිනි තැබීම ද එහි මාධ්‍යවේදියකු  වූ ප්‍රදීප්  එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද සිදුවුණ බවටත්  ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කරනු ලැබූ නිවේදනය සිහිපත් කර දෙයි.

 

 

Related posts

Comments are closed.

Top